හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Friday, September 30, 2011

සැම්බියානු ජන කථාවක්

ආඩම්බර සිංහයා සහ උපායශීලී හාවා
ඔන්න දුවේ, පුතේ, නැන්දා මුලින්ම කියන්න යන්නෙ අප්‍රිකාවෙ ලස්සන ජන කතාවක්. නැන්ද එහේ කාලයක් හිටිය හින්ද ඒ රටේ ජන කතා ගොඩාක් නැන්ද ඔයාලට කියල දෙන්න තමයි හිතා ඉන්නෙ. ඉතින් අප්‍රිකාව ලංකාව වගේ පොඩි රටක් නම් නෙමෙයි. ඒක මහාද්වීපයක්. අම්මට හරි තාත්තට හරි කියල පිහිටීම බලා ගන්න ඕනෙ දුවල පුතාල. අපි ලෝකෙ හැම රටකම පිහිටීම දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි නේද? කවදා හරි ලෝකෙ ලස්සන තැන් බලන්න යන්නත් ඔයාල උත්සාහ කරන්න ඕනෙ.
දැන් ඉතින් නැන්ද කියන්න යන්නෙ සැම්බියාව කියන රටේ තියෙන ජන කථාවක්. මේ රටවල බොහොමයක් ජන කථා තියෙන්නෙ සත්තු එක්ක බද්ධ වෙලා. , ඒ රටවල්වල මිනිස්සු සත්තු එක්කම ජීවිත ගෙවන නිසා. පරිසරය රැකගෙන ඒ ආශ්‍රිතව තමයි එයාල ජීවත්වෙන්නෙ. ඒ ජනකථා බොහොමයක් අපේ වගේ කටින් ,කට පරම්පරාවෙන්, පරම්පරාවට කියාගෙන ආව ඒව. ආච්චිල සීයල මුණුබුරු මිනිපිරියන්ට කතා කියන්න හරිම දක්ෂයි. අපේ රටෙත් එහෙම නේද?
ඔන්න ඉතින්, ඒ කාලෙ හිටියලු මුටූපා කියල සිංහයෙකුයි, කලූලු කියල හාවෙකුයි. කලූලු කියන හාවා අනෙක් සතුන් අතර උපායශීලී කෙනෙක් ලෙස හිවලා හා වඳුරා වගේම ප්‍රසිද්ධ වී සිටියා. කොච්චර ප්‍රසිද්ධ වෙලා හිටියද කීවොත් සිංහ රජතුමා පවා දැනහිටියා මේ කලූලු හාවගේ දක්ෂකම්. ඒ වගේම කොටිහාමිත් දැනගෙන හිටිය මේ හාවගේ දක්ෂකම්.

ඈත එපිට කාලෙක මේ මුටූපා සිංහ රජතුමාට මේ කලූලු කියන හාවාව මුණගැසුනා. ඉතින් සිංහයෙකුට හාවෙක් හම්බ උනාම නිකම් ඉන්නවද? නේද. නෑ! , එයාට හාවව මරාගෙන කන්නම තමයි හිත. ඉතින්, හාවව කට ලඟට ගන්න කොට හාවා අහනවා මුටූපා සිංහයාගෙන් "අනේ රජතුමනි, ඇයි ඔබතුමා කට අරිනකොට වතුර වගේ කෙල වැක්කෙරෙන්නෙ? " කියල.
එතකොට සිංහයා අහනවා "ඇයි හාවෝ, නුඹ, මස් කෑල්ලක් නෙමෙයිද?" කියල.
හාවා කියනවා " අනේ, රජතුමනි, මගේ නම් මස් ගොඩක් නෑ. කටු ටිකක් තමයි ඔබ තුමාට දෙන්න වෙන්නෙ. " කියල. දැන් ඔන්න හාව බොහොම දුක හිතෙන මුහුණක් හදාගෙන ඉන්නෙ. හාවා දිහා බැළුවහම සිංහයාටත් ඇත්ත නේද? මේ හාවා කියන්නෙ කියල හිතුන. ඒත් එක්කම හාවා මෙහෙමත් කියනවා. " මාව කෑවොත් රජ තුමනි ඔබට බඩගින්නේම තමයි ඉන්න වෙන්නෙ, ඒ නිසා අපි දෙන්නම හොඳට මස් තියෙන ලොකු මහත සතෙක්ව හොයාගෙන යමු" කියල .

"හ්හා! හ්හා! හ්හා!, හොහ් හෝ!, හොහ් හෝ!, හොහ් හෝ!" කියල මහ හයියෙන් හිනා උනා.
හිනා වෙලා අහනව " ආ.........උඹ! උඹ! , උඹට පුලුවන්ද මාත් එක්ක දඩයම් කරන්න . " කියල. ඒතකොට හාවා කියනවා අපි යමු මිනිස්සු ඉන්න ගමකට එහේ ගිහින් ලොකු සතෙක් හම්බ උනේ නැතිනම් රජතුමනි නුඹට පුලුවන් එතකොට මාව මරාගෙන කන්න" කියල.
ඉතින් ඔන්න දෙන්නම යනවා ගම්මානයක් සොයාගෙන. ඇවිදගෙන යනකොට ආව ගමක් ළගට, එතනදී හොඳට වැඩුන ගොන් නාම්බෙක් හම්බ උනා සිංහයාට. ඒ සතාව දඩයම් කරන අතරේ හාවත් හෙව්වා එයාට හරියන දඩයමක්. ඒත්, හාවට බිම පෙරළි, පෙරළි ඉන්න බූරුවෙක් ඇරෙන්න කිසිම කෙනෙක් දකින්න ලැබුනෙ නැහැ. දැන් මොකද? කරන්නෙ. සිංහයා ලැබුන දඩයමත් අරගෙන ඔන්න යනව ගෙදර යන්න. හාවත් දැන් සිංහයා එක්කම යනවා. ටිකක් ඉරිසියාවකුත් ආව , ඇයි? දන්නව නේද? එයාට මොනවත් දඩයම් කරගන්න ලැබුනෙ නැහැනෙ, ඒකයි.
එක පාරටම හාවා කියනවා සිංහ රජතුමාට " අනේ, රජතුමනි! ඔබතුමා කොච්චර අවාසනාවන්තද?" කියල. ඒ පාර රජතුමා මහත් විස්මයෙන් අහනවා හාවා ගෙන් " ඒ මොකද?” කියල.
" අනේ, මේ අසරන ගොනා , හරිම කෙසඟයි, මුගෙ හැටි! කිසිම පෝශණයක් නෑ. මූව, කෑවට වඩා හොඳයි මාව මරාගෙන කෑව නම්" කියල. හාවා ආයෙත් කියනවඕනෙම කෙනෙක් දන්නවා රජතුමනි, ලොකු මහත සතෙක්ට ඇන්නම හරි, බිම ගැහුවම හරි දුම් පිටවෙනවා" කියල.
සිංහයා දැනගෙන හිටියෙ නෑ ඒ ගැන. ඒ උනාට ඒ බවක් හාවට පෙන්නුවේ නෑ. සිංහයා ලොකු කෝටුවක් අරගෙන ගොනාගෙ පැත්තකට ඇන්න ඒත් දුම් නම් ආවෙනෑ. ඊළගට පිටිපස්සෙන් ඇන්න කටින් මතුවෙනකල්. ඒත් දුම් ආවේ නෑ. ඉතින් සිංහයා හාවාට කිව්වා "මේ නම් හොඳ මහත සතෙක් " කියල, හාවට ගොරවලා සිංහයා ගොනාවත් අරන් යන්න ගියා. කලූලු හාවා, ලැජ්ජාවෙන් හිස නමා බලා ගෙන හිටියා , මුටූපා සිංහයා ආඩම්බරෙන් යන දිහා.

ප්‍රස්ථා පිරුළු

ඔන්න මම හා හා පුරා කියලා පුංචි ඔයාලට කියලා දෙන්න හදන්නේ ප්‍රස්ථා පිරුළු ගැනයි.  අපේ සිංහලයන් අතර
ඉස්සර ඉදලම තැනට ගැලපෙන අයුරින් එක එක කියුම් කීමේ පුරුද්දක් තිබුනා.  ඒ වගේ කියුම් උපහාසයට, අපහාසයට වගේම උපදෙස් දෙන්නත් අවස්ථාවේ හැටියට යොදා ගත්තා.  මේ කියුම් වලට තමයි අපි ප්‍රස්ථා පිරුළු කියලා කියන්නේ. මේ ප්‍රස්ථා පිරුළු බොහෝමයකට හේතුවෙලා තියෙන්නේ රසවත් කතන්දරයක්.  ඉස්සර උදවිය මේ ප්‍රස්ථා පිරුළු වලට බොහෝම ඇල්මක් දැක්වූවා.  අදත් ගම්බද තරමක් වයසක කෙනෙක් එක්ක කතාබහේ යෙදුනොත් මේ කියන පිරුළු වලින් දෙක තුනක් වත් අහගන්න පුළුවන්.


අහසේ මාලිගා තනනවා


එක්තරා තරුණ ගොවියෙක් තමන්ගේ ගෙදර හාන්සි පුටුවේ දිගාවෙලා කල්පනා කරමින් හිටියා.
එයාගේ ගෙදර ගේට්ටුව දෙපැත්තේ ඇති මුරුංගා ගස් දෙක කරල් වලින් බරවෙලා තියෙනවා මේ තරුණයා දැක්කා.  “මෙදා නම් මුරුංගා ගස් දෙකම කරල් වලින් බරවෙලා. මේ පලාතටම වෙන මුරුංගා ගස්වල කරල් නැහැ.  මෙදා පාර නම් මුරුංගා විකුණලා මට මුදල් බොහෝමයක් එකතු කරගන්න පුළුවන්.  මුරුංගා වලින්
ලැබෙන සල්ලි වලින් මම එළදෙනුන් හත් අටදෙනෙක් ගන්නවා.  


එතකොට උන් පැටවුන් විසි තිස් ගණනක් බිහි කරාවි. එතකොට එළකිරි විකුණලා මට පවුම් හැට හැත්තෑවක් උපයා ගන්න පුළුවන්. වැඩි කාලයක් යන්නෙම නැතිව තවත් පැටවුන් ලැබෙයි.  එතකොට එළදෙනුන් සියගණනක් මං ගාව ඉන්නවා.  මාගේ මාසික ආදායමත් සිය ගණනක් වේවි.


එතකොට බැරියැයි මගේ තත්වයට ගැලපෙන විවාහයක් කරගන්න.  ගමේ පළවෙනි ගමරාළගේ දූ මගේ බිරිද වශයෙන් ගැලපේවි.  ඈ කැන්දාගෙන එන මගුල් උලෙල බොහෝම ලස්සනට කරන්ට ඕනෑ.  නෑදෑයෝ බදින තොරණ ඇරෙන්න මාත් තොරණක් බදින්න ඕනෑ.  ඒ තොරන මේ පළාතේ වෙන තැනක හැදුවේ නැති තරම් ලස්සන ලොකු එකක් වේවි.  


මේ මුරුංගා ගස් දෙක නිසා මගේ මගුල් තොරණ බදින්ට ඉඩ නෑ.  ඒ නිසා මේ ගස් දෙක කපන්ට ඕනෑ.  මේ විදියට මනෝ රාජ්‍යෙයේ සැරි සැරූ තරුණයා පොරවක් ගෙන ගොස් මුරුංගා ගස් දෙක කපා දැම්මා.  ඉන් පස්සෙයි සිදුවුණ අලාභය ඔහුට වැටහුනේ.  අන්තිමේදී සියලුම යස ඉසුරු බලාපොරොත්තු වුණු මුරුංගා ගස් දෙකත් ඔහුට නැති වුණා.  


සමහරුන්ට මුදල් ලැබුණාම මෙවැනි දේ කරනවා, මෙහෙම ඉන්නවා යනුවෙන් හිතා මනෝ රාජ්‍යෙය් සැරි සරන  අයට මේ ප්‍රස්ථා පිරුල යොදා ගන්නවා.

මේ රට මගේ රට

කවිපිටුව සරන්න මුලින්ම තෝරාගත්තේ එස්. මහින්ද හිමියන් විසින් රචනා කල මේ රට මගේ රට කවි පන්තිය.

එස්. මහින්ද හිමියන් ගැන විස්තර මෙතැනින් දැන ගන්න පුළුවනි.


මේ කවි පන්තිය මාලනි බුලත්සිංහල නැන්දා බොහෝම ලස්සනට ගායනා කරනවා, ඒ සින්දුව අහමු.

Thursday, September 29, 2011

අම්මා, ඔබ මට ආදරේද?

අම්මා, ඔබ මට ආදරේද?

මගේ ආදරණීය පොඩිත්තො, ඔව් මම ආදරෙයි!

කොතරම් ආදරේද?

කෑදර කපුටා උගේ නිධානයට ආදරය කරනවාටත් වඩා මම  ආදරෙයි
බල්ලකු උගේ නැට්ටට ආදරය කරනවාටත් වැඩියෙන්
තල්මසකු උගේ කෙමියට ආදරය කරනවාටත් වැඩියෙන්


කවදා වෙනතුරුද?                                     
 

ඔරු අඳුරට ඉගිල යනතුරු මම ඔයාට ආදරෙයි.
තරු අහසේ මාළුන් බවට පත්වෙන තුරුම
ප‍ෆින් කුරුල්ලා හඳේ උඩු බුරනා තුරුම

අම්මා, මා ‍රැගෙන ගියොත් අපේ බිත්තර,
අපේ ටර්මිගන් කුරුළු බිත්තර !
මම පරිස්සම් වෙන්න උත්සහ ක
ත්
මම හිමින් ඇවිදින්න උත්සහ කත්
නමුත් මා බිම වැ‍ටුනොත්
බිත්තර ටික බිඳුනොත්?

එවිට මම පසුතැවේවි                                    
නමුත් තවදුරටත්
මම ඔයාට ආදරය කරාවි

මම සැමන් මත්ස්‍යයකු ඔබේ ලෝගුවට දැමුවොත්
සුදු ලොම් ඇති මුගටියකු ඔබේ අත් මේස් තුළටත්
ලෑටි ගාන්නකු ඔබේ හිම සප්පත්තු වලටත්?

එවිට මට තරහ යාවි


මම අපේ පහනට වතුර විසි කළොත්?

එවිට මගේ ආදරණීය පොඩිත්තො,
මට ගොඩාක් තරහ යාවි
නමුත් තවදුරටත් මම ඔයාට ආදරය කරාවි

මම ගෙදරින් පැන ගියොත්?

එවිට මම වද වේවි.

මම දුරට ගොස් වෘක්කයන් සමඟින් ගී ගයමින් ගුහාවක නිදා ගත්තොත්?

විට මගේ ආදරණීය පොඩිත්තො, මම බොහොම දුක්වේවි.
නමුත් තවදුරත් මම ඔයාට ආදරය කරාවි

මම කුළු මීමකු බවට පත්වූවොත්?

විට මා පුදුමයට පත්වේවි

මම මුහුදු ඇතකු බවට පත් වූවොත්?

එවිට මා පුදුමයට ප
ත්වේවි, ඒ වගේම  තරමක් බය වේවි

මට තියුණු,දිලිසෙන දත් තිබුනොත්?
මා ඔබ ඔබේ කූඩාරම තුළට ලුහුබැන්දොත්?


එවිට මා බොහොම පුදුමවේවි ,බොහොම බියවේවි
නමුත් තවදුරටත්,හිම වලසා තුළ ඔයා ඔයාමවේවි
මම ඔයට ආදරය කරාවි.
මම ඔයාට සදාකාලයටම, සෑමවිටකම ආදරය කරාවි.
මොකද, ඔයා මගේ ආදරණීය පොඩිත්ත නිසා....


බාබරා එම්.ජෝස් ගේ "Mama,Do You Love Me" පොතේ අනුවාදයකි.

Tuesday, September 27, 2011

ඉබ්බා සහ කඩුව

වියට්නාමය කියන්නේ නැගෙනහිර ආසියාවේ තියෙන රටක් . මම  ටික කලක ඉඳන් වියට්නාමයේ ඉන්න නිසා මෙහෙ රසවත් තොරතුරු ගොඩක්  කියාදෙන්නයි බලාපොරොත්තුව .
හැනෝයි කියන්නේ මෙහි අගනගරය . මේ අගනගරය ගැන කියන්න බොහොම දේවල් තිබුනත් ඒ ගැන වෙන වෙලාවක කියන්නම්. අද මන් පුංචිම පුංචි කතාවක් කියන්නයි හදන්නේ ආරම්භයක් විදිහට .


විල් දහස් ගානක් ඇති හැනෝයි පළාතේ නගරය මැදම ඒකියන්නේ නගරයේ හදවත වගේ කියන්න පුළුවන් Hoan Kiem විල  පිහිටලා තියෙනවා . අපේ රටේ වැව් වලයි මේ විල්  වලයි වෙනස තමයි අපේ වගේ මිනිසුන් විසින් නිමවූ ඒවා  නෙමේ . ස්වභාවිකව ඇති වුන ඒවා .

ඉතින් මේ කිව්ව විලේ ඉතාම ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් තියෙනවා . ඉස්සර කාලේ චීනයට ඕන වුනා මේ රට යටත් කරගන්න . විවිධ කාලවලදී සටන් ඇති වුනා .වියට්නාමයේ හිටපු Le Loi රජතුමාට සිදු වුනා එහෙම චිනෙත් එක්ක සටන් කරන්න . දිව්‍ය ලෝකයෙන් ඒ රජතුමාට රත්තරන් කඩුවක් ලැබුනා . ඒ නිසයි යුද්ධෙ දිනන්න හැකි වුනේ .

යුද්ධය ඉවර වෙලා පසු කලෙක රජතුමා මේ විලේ ඔරු පදින්න ගියාලු . එකපාරටම විශාල කැස්බෑවෙකු වතුරෙන් මතු වෙලා අර රත්තරන් කඩුව අරගෙන වතුර යටට ගියාලු .


කතන්දරේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් තවමත් මේ විලේ ඉතා විශාල කැස්බෑවන් විශේෂයක් ජිවත් වෙන ඒක නම් හරිම පුදුමයි . ජල දුෂණයත් මසුන් මැරීමට විවිධ ක්‍රම අනුගමනය කිරීමත් නිසා මොවුන් සෑහෙන දුරට වඳ වෙලා ගිහින් කීපදෙනයි ඉන්නේ . රජය මේ ටික දෙනා රැක ගන්න උත්සාහ ගන්නේ මේ ටික දෙනා ඉතාම වටිනා නිසයි .  පාරිසරික අතින් සහ ඉතිහාසමය අතින් මේ කැස්බෑවන් මේ රටේ මිනිස්සුන්ට ඉතා වටිනවා .


[Rafetus leloii තමයි විද්‍යාත්මක නම ]

ලඟදි අසනීප වෙලා හිටි කැස්බෑවෙකු ඉතාම වෙහෙසක් දරල අල්ලාගෙන . නරකක් කරන්න නෙමේ බෙහෙත් දෙන්න



මොවුන් පේන්න ඉන්නේ බොහොම කලාතුරකින් . මේ කැස්බෑවෙකු දැක ගැනීම විරල වාසනාවක් ලෙසයි වියට්නාම ජාතිකයින්  අදහන්නේ .
විල මැද පන්සලේ තබා ඇති සංරක්ෂණය කරන ලද කැස්බෑවා



මේ ලින්ක් එක ඔස්සේ ගිහින් මේ පිලිබඳ විකිපීඩියාවේ තියෙන තොරතුරු කියවන්න පුළුවන් වැඩි විස්තර දැන ගන්න ආස කෙනෙක්ට .

 
 

පින්තුර ගත්තේ මෙතැනින් .

Monday, September 26, 2011

මිහිර පත්තරෙන් කියවූ "ලක්දිව පුවත"

ආදරණීය දුවේ, පුතේ,

ඔයාලට දැන් අහන්ඩ, දකින්ඩ නොලැබෙන ඒ උනත් මේ ලියන නැන්දල, මාමල පුංචි සංදියේ අහපු දැකපු,  දූලා පුතාලගේ දැනුම වැඩි කරන්ඩ පුළුවන්, ඒ වගේම ඔයගොල්ලන්ට රස විඳින්න පුළුවන් 
තොරතුරු, 
ඉතිහාස කතා, 
ජන කතා, 
ළමා කවි, 
චිත්‍ර, 
ප්‍රබන්ධ කතා, 
විශ්ව දැනුම ........... වගේ නොයෙකුත් වටිනා කියන දේවල් ඔයාල වෙනුවෙන්ම ගෙන එන්නයි මේ බ්ලොග් අවකාසෙ පටන් ගත්තෙ. මේ අවකාසෙ ලිපි ලියන්න නැන්දල මාමල කිහිප දෙනෙක්ම දැනටත් කැමති වෙලා ඉන්නෙ. තව ඉස්සරහට තව තව නැන්දල මාමල අපට එකතු වෙයි. ඉතින් මේ ලිපි කියවල, පින්තූර බලල, ගීත අහල එහෙම ඔයාල සතුටක් වගේම දැනුමකුත් ලැබුවොත් ඒක මේ ලියන නැන්දල, මාමලටත් ලොකු සතුටක් වෙයි.

අපේ පුංචි සංදියේ අපි හුඟක් ආසාවෙන් කියවූ ළමා පුවත්පතක් තමා මිහිර පත්තරේ.
ඒ පත්තරේ එස්. ඒ. දිසානායක කියල මාම කෙනෙක් "ලක්දිව පුවත" නමින් ලංකාවේ අපේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසය පුංචි ළමයින්ට කියවන්න පුළුවන් විදිහට ලිව්වා. හැමදාම ලස්සන චිත්‍රයකුත් එදා දවසේ කතාවට අදාලව පල කළා. අපි ලංකාවේ ඉතිහාසය පිළිඹඳ බොහොම තොරතුරු එයින් දැනගත්ත.
මේ තියෙන්නේ ඒ එක් ලක්දිව පුවත ලිපියක පලවූ ලස්සන චිත්‍රයක්.


මේ චිත්‍රයේ කියවෙන්නේ ලංකාවේ මුල්ම දාගැබ වූ ථුපාරාම දාගැබෙහි ධාතු නිධානෝත්සවය. මිහිඳු මහා රහතන් වහන්සේ සහ දෙවන පෑතිස් රජතුමා මෙහි දකින්න පුළුවන්. ඉහලින් පෙනෙන්නේ ථුපාරාම දාගැබ. මංගල හස්තිරාජයා පිට නිධන් කිරීම සඳහා ධාතුන් වහන්සේලා වඩම්මවා තිබෙනවා. ඒත් රජතුමා බලාපොරොත්තු වූ පරිදි ධාතුන් වහන්සේලා එක් වරම තැන්පත් කරන්න බැරි වුනා. ඒ ගැන දැනගන්න ලක්දිව පුවත කියවන්න. 

දැන් ඔයගොල්ලන්ට අන්තර් ජාලයෙන් ලක්දිව පුවත කියවන්න පුළුවන්. මෙන්න යන පාර;

හැමෝම කියවල ලංකාවේ ඉතිහාසය ගැන දැනගන්නකෝ. 

දැන් අපි බලමු අනිත් නැන්දල මාමල ඊළඟ ලිපියෙන් අපිට කියන්නෙ මොනවද කියල.