හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Sunday, October 30, 2011

බුලත් සපන්නේ කොයි කොයි දේසේ ..

''ටක් ගානවා ..ටික් ගානවා ..ටිකක් කනවා දොර වහනවා ...හුණු කිල්ලෝටයක් අරගෙන සියා බුලත් විට හපනවා '''


අපි පොඩි කාලේ අහපු ළමා ගීයක් අලුත් වෙලා දැන් පුතාල දුවලත් අහනවා . බුලත් කන්නේ ආච්චිලා සීයලා බව තමයි අපේ හිතේ වැඩිය ඇඳෙන්නේ .


දැන් මේ පුරුද්ද ගොඩක් අඩුයි . අපි පුංචි කාලේ ආච්චිලා සීයලා හරියට බුලත් කෑව. දත් දුර්වල වෙනකොට පුංචි වන්ගෙඩියක කොටලා තමයි බුලත් කෑවේ. බුලත් කන්නේ තනියම නෙමේ . පුවක් හුණු සමග . සමහරු දුන්කොලත් දානවා . දුන්කොල දැම්මම මත් වෙන ගතිය වැඩියි .


මොකටද බුලත් කෑවේ ? බුලත් පුවක් හුණු එක් වුනහම උත්තේජකයක් විදිහට ක්‍රියා කරනවා . පස්සේ ඒක පුරුද්දකට යනවා . තේ , කෝපි බොන එක වගේ .

හැබැයි බුලත් කන්නම විතරක් නෙමේ පාවිච්චි වෙන්නේ . මගුල් ගෙයකට අමුත්තන්ට ආරාධනා කරන්න , දානෙකට වඩින්න ස්වාමින් වහන්සේලාට ආරාධනා කරන්න ,අලුත් අවුරුද්දට වැඩිහිටියන්ට වඳින්න , අලුත් අවුරුද්දේ ගුරුවරුන්ට වඳින්න බුලත් අතක් ඕනෑමයි . ඒ අපේ සංස්කෘතිය .
ඔන්න මන් වියට්නාමෙට ආවම  දැක්ක මෙහෙ අයත් බුලත් කනවා . අපේ වගේම හුණු පුවක් එක්ක . මගුල් මරණ වලටත් නැතුවම  බැරිලු .


මන් හිතා හිටියේ ලංකාව ඉන්දියාව පකිස්ථානය වගේ දකුණු ආසියාවේ රටවල විතරයි බුලත් පාවිච්චි වෙන්නේ කියල . ඉතින් මේ ගැන ආස වෙලා මට හිතුන ටිකක් බුලත් ගැන සොයා බලන්න .

අපේ රටේ බුලත් ලැබුන හැටි කියන කතන්දරේ හැමෝම දන්නවනේ . නාග ලොවින් නාගයෙක් ගෙන ආවලු . ඒ ගෙන එද්දී කොලේ දෙකට නවල කටින් ගෙන ආ නිසා දෙකෙළවර කඩල තමයි කන්නේ . නයා විෂයිනේ. වියට්නාමේ අයත් දෙකෙළවර කඩල කන්නේ . නුතන පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා බුලත් නැට්ට කෑමට සුදුසු නැහැ කියල .


මෙතනදී එක දෙයක් කියන්න ඕන . පරණ සිරිතක් දැක්කම එක පාරටම අහක නොදා ඒවායේ විද්‍යාත්මක පැත්තක් ඇද්දැයි සොයා බලන එක වැදගත් . පුංචි කාලේ ඉඳලම එහෙම විමසිලි නුවණින් ලෝකය දකින්න පුරුදු වෙන එකින් හරිම රසවත් දේ දැන ගන්න පුළුවන් .

ඉතින් වියට්නාමේත් තියෙනවා බුලත් ගැන ජනකතාවක් .


ඔන්න එකමත් එක කාලෙක වියට්නාමයේ කාවෝ කියන පවුලේ හිටියලු නිවුන් අය්යයි මල්ලියි .Tan සහ Lang ඒ දෙන්නගේ නම් .


දෙන්න ගුරු ගෙදර නැවතිලා ඉගෙනගත්ත . පසුව අය්යා ගුරුතුමාගේ දුවව විවාහ කරගෙන මල්ලිත් එකක ජිවත් වෙනවා . විවාහෙන් පස්සේ අය්යා මල්ලිට තිබුන ආදරේ අඩු වුනායයි මල්ලි කණගාටු වෙනවා . දිනක් පුංචි අමනාපයක් වෙලා මල්ලි ගෙදරින් යනවා .


ඈතට ගිහින් අතරමන් වෙලා මහන්සියට ගඟක් ළඟ විවේක ගන්නවා . එහෙම ඉන්න කොට එයා ගලක් බවට පත් වුණා.


අය්යා බොහොම දුකින් මල්ලිව සොයමින් යද්දී දැක්ක මල්ලි ගලක් වෙලා . එයා දුකින් එතන ගහක් වෙනවා . පසුව එයාගේ බිරිඳ එනවා මෙයාලව සොයන්න . ගහයි ගලයි දැක්කම එයා හොඳටම අඬලා වැලක් වෙනවා . වැලේ කොළ හදවතේ හැඩති වුණා.


ඒ වැල තමයි බුලත් . ගල තමයි හුණු . ගහ තමයි පුවක් . ඒ තුන්දෙනා සොයන් ආපු ගමේ අය තිදෙනා වෙනුවෙන් පන්සලක් හැදුවලු . මේ පන්සල් ගැන වෙන දවසක කියා දෙන්නම් .[ වියනාමයේ අපේ වගේ නොවෙයි . බුදු රජාණන් වහන්සේට වෙන් වුන පන්සල් වගේම වෙන වෙන කාරණා වලට ඉදිවුන පන්සලුත් තියෙනවා .]


මෙතනින් ගිහින් පින්තුර ගොඩක් බලන්න


මේ අය කෑමට වගේම මගුල් ගෙවල් වලදී බුලත් ගන්නවා . බුලත් කොළය හරියටම සමාන කොටස් දෙකකට බෙදන්න හැකියි . විවාහ වෙන යුවල  ඒවගේම ගැලපෙන අය විය යුතුයි කියන සංකේතයක් විදිහටලු බුලත් ගන්නේ .




අපේ රටේ වගේම මෙහෙත් බුලත් කෑම නම් අඩු වෙලා . බුලත් සැපීම මුඛ සෞඛ්‍යට හානිකර බව දැන් හැමෝම දන්නවනේ . අනික බුලත් කාල දත් වල කහට බැඳෙන එකට තරුණ අය අකමැතියි .


ඉතින් මන් හිතුවා තවත් ටිකක් මේ ගැන සොයල බලන්න . වියට්නාමේ විතරද නැහැ මේ කලාපයේ චීනය , තායිවානය , කම්බෝජියාව , පිලිපීනය ,තායිලන්තය , ලාඕසය , මියන්මාරය වගේ රටවල බුලත් කනවා වගේම සංස්කෘතික අංගයක් .
පුවක් ගෙඩියක් .

 ඉන්දුනීසියාවේ බාලි දුපතේ ගිරයක් . බලන්න අපේ ගිරය වගේමයි




අපේ රටින් පකිස්තානෙට හෙම බුලත් අපනයනය කරනවා . බුලත් කියන්නේ අපේ සුළු අපනයන බෝගයක් .
උතුරු ඉන්දියාවේදී බුලත් විට හඳුන්වන්නේ ''පාන් '' කියලා . සමහර රටවල බුලත් නැතුව පුවක් විතරක් කනවා . මාල දිවයිනේ සිනි තවරපු වේලපු පුවක් හප හප ඉන්න අය දකින්න පුළුවන් .
බුලත් ඇයි හොඳ නැත්තේ . ඇත්තටම පුවක් තමයි වඩා නරක කියල ඔප්පු කරලා තියෙන්නේ . හුණු දුන්කොල වලින් කරන්නේ පුවක් වල නරක ගතිගුණ වැඩි කරණ එකලු. 
බුලත් වල දත් ආරක්ෂා කිරීමේ ගුණයක් තියේලු . පුවක් පණුවන් නසනවලු . ඒ හින්දා ඉස්සර යම් විදිහකට බුලත් කෑමේ හොඳ ප්‍රතිපල තිබිල තියෙනවා . හැබැයි මුඛ පිළිකා කාරකයක් වෙච්ච නිසා පුරුද්දක් වශයෙන් බුලත් කෑමට ඇබ්බැහි වීම නරකයි . අනික දන්ත සෞඛ්‍ය රැක ගන්න  දත් බුරුසු වැනි දේ ඇති නිසා බුලත් නොකෑවට කමක් නැහැනේ . පණු අමාරු වලින් ආරක්ෂා වෙන්නත් අපිට යහපත් සෞඛ්‍ය පුරුදු වලින් පුළුවන් .


http://en.wikipedia.org/wiki/Areca_nut


මේ සබැඳියෙන් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්.






ප. ලි.


මන් කැමතියි මේ වගේ ලිපියක් කියෙව්වම ඔයාලත් මේ ගැන දන්නා දේවල් නැත්නම් හිතෙන දේවල් පහලින් ලියනවා නම් . බ්ලොග් එකක් කියවනවා නම් සිංහලෙන් ටයිප් කරණ එක හරි ඉංග්‍රීසියෙන් ලියන එක හරි එච්චර අමාරු වැඩක් නෙමේ . මේ පුන්චිත්තට ලියන අපි හැමෝම කැමතියි ඔයාල සක්‍රියව මේකට සහභාගී  වෙනවනම් .
නිකන්ම පත්තරයක් වගේ කියවීමට වඩා අපිට සංවාදයක් ඇති කළ හැකියි මෙතන . ලිපියක් තවත් පෝෂණය වෙන්නේ එතකොටයි . වැඩිපුර හිතන්න ප්‍රශ්න කරන්න පුරුදු වුනොත් තමයි හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ . ඒ වගේම අදාල ලින්ක් ඔස්සේ ගිහින් වැඩිපුර කියවනවා නම් හොඳයි වෙලාව ඇති විදිහට .


ඒ වගේම නැන්දලා මාමලා අපේ ලිපි වල ව්‍යාකරණ දොසක් හරි වෙන වරදක් හරි දුටුවොත් ඒ ගැන දැනුම් දෙන්න . මේ බ්ලොග් එකට ලියන අපි හැමෝම වගේ කාලෙකට පස්සේ ලියන්න ගත්තේ . වැඩත් බහුල අය . ඉතින් වැරදෙන්න තියෙන ඉඩ වැඩියි . ඒ ගැන සමාවෙලා නිවැරදි කිරීමත් ඒ වගේම වැරැද්ද පිළිගැනීමත් අපේ යුතුකමක් .

Friday, October 21, 2011

එළුවන් දෙදෙනා


දවසක් දොළ පාරක් හරහා දාපු ඒදණ්ඩක් උඩින් එළුවෙක් එගොඩට යමින් සිටියා. ඒදණ්ඩේ මැද හරියෙදී එයා දකිනවා මුහුණට මුහුණලා අනික් පැත්තේ සිට එන තවත් එළුවෙක්. ඒදණ්ඩ පටුයි. සතුන් දෙදෙනාටම එකපාරට දෙපැත්තට යන්න ඉඩ මදියි.

කලබලයට පත් වූ එළුවා "ඔහෝම නවතිනවා!" කෑගහන්න පටන් ගත්තා. "හැරිලා ආපහු යන්න, ඒදණ්ඩ උඩින් අපි දෙන්නටම එකපාරට මාරුවෙන්න ඉඩක් නැහැ." අනිකාට කිව්වා.

"ඇයි මං? ඔයා හැරිලා යන්නේ නැත්තේ ඇයි?" අනෙකා ඇහුවා.

"බෑ. බෑ. හැරිලා ආපහු යන්න ඕනේ ඔහේ මම නෙවෙයි. මමයි මෙතැන බලවතා."

"ඒ කොහොමද? ඔහේ මං තරම් ශක්ති සම්පන්න නැහැ." දෙවැනි එළුවා කිව්වා.

ඒ කථාවෙන් කේන්තියට පත් වූ එළුවා "එහෙනම් බලමු" කියමින් අං අමෝරාගෙන අනින්න කුරුමානම් ඇල්ලුවා.

"එපා. එපා." අනිකි එළුවා බැගෑපත් වූවා. "අපි මෙතැන රණ්ඩු කළොත් දෙන්නම වතුරට ඇදගෙන වැටිලා ගිලිලා මැරෙන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න, මං ඒදණ්ඩේ දිගාවෙන්නම්, මගේ ඇඟ උඩින් පය තියලා ඔහේට  අනික් පැත්තට යන්න පුළුවන්."

එහෙම කියූ නුවණක්කාර එළුවා ඒදණ්ඩ දිගේ දිගා වුණා. එයාගේ ඇඟ මතින් අනික් එළුවා බොහෝම සීරුවෙන් අඩියෙන් අඩිය තියා අනික් පැත්තට මාරු වුණා. නුවණක්කාර එළුවා ද නැගිට්ටා, එළුවන් දෙදෙනාම සිනාමුසු මුහුණින් දෙපැත්තට යන්න ගියා.

The Two Goats කතාව ඇසුරිනි.

පිංතූරය ගත්තේ: http://www.kidsgen.com/

Thursday, October 13, 2011

මරිල්කා


මරිල්කා ගෙදර හිටියෙ නෑ. ඇගේ අම්මාත් තාත්තාත් ඈව හැමතැනම සෙව්වා. 'ඔහ්! අපේ දූ කොහෙද?"  ඇගේ තාත්තා වැලපුනා. "අපි කොහොම ජීවත් වෙන්නද මරිල්කා නැතුව?"       මේ හොඳ මිනිස්සු හඬනවා ඇසුනු කොකා උගේ පිහා‍ටු ඇද ගලවාදමන්නට පටන් ගත්තා. "මරිල්කා දකින්න නෑ.ඇගේ අම්මා අඬනවා,ඇගේ තාත්තත් අඬනවා, ඉතින් මටනම් බෑ තවත් පියාඹන්න "  එහෙම කියපු කොකා ඉකිබිදින්න පටන් ගත්තා. කොකා ගේ පිහා‍ටු පාවෙනු දු‍ටු චෙරි ගස කොකොගෙන් සිද්ද වෙන්නෙ මොකක්ද කියා ඇසුවා.කොකාගේ පිළිතුර ඇසූ චෙරි ගස ශෝකයෙන් වෙව්ලන්න ගත්තා. එහි සෑම පොහොට්‍ටුවක්ම බිම වැටී ඈතට ගසාගන ගියා.     " අනේ!  මරිල්කා දකින්න නැති නිසා තවත්නම් චෙරි  හටගන්න මට ඕනෙ නෑ" චෙරි ගස හඬාවැ‍ටුනා. චෙරි පොහොට්‍ටු ගසාගන යනු දු‍ටු ගංගාව ඒ ගැන ගසෙන් විමසුවා. "ඕ....ඕ....ඕ"   චෙරිගස වැලපුනා. "මරිල්කා දකින්ට නෑ.ඇගේ අම්මත් අඬනවා, තාත්තත් අඬනවා, කොකා පිහා‍ටු ගලවා දමල, මා මගේ  සියලුම පොහොට්‍ටු සොලවා බිම දැමුවා.  '' ඔහ්!"  ගංගාව කෙඳිරිලි හඬ නැඟුවා. "අපි දැන් මොකද කරන්නෙ ?" ගංගාව එහි ජලය ඉතිරී පොළවට කිදා බසින තුරු දිය ‍රැලි නඟන්නත් සුසුම්ලන්නත් පටන් ගත්තා. ඉක්මනින්ම එය කුඩා දිය පාරක් බවට පත්වුනා. පාත්ත්යින් බලා ගන්නා තරුණිය මැග්ඩා ඇගේ කළගෙඩිය පුරවා ගන්නටත් ඇගේ පාත්තයින්ට ගංගාවේ පීනන්නට ඉඩ හරින්නටත් ගංගාවට පැමිණියා. ඈට දක්නට ලැබුනේ කුඩා දිය පාරයි.බොහොම පුදුමයට පත්වූ ඈ අතින් කළය බිමට අත හැරුනා. එය කුඩා කැබළි වලට බිඳීගියා. "ඔහ් ! ගංගාව , ඔබට මොකක්ද  මේ සිද්දවුනේ ? " ඔක්කෝම පාත්ත්යෝ ඈ වටා එක් වන අතර තුර ඈ විමසුවා. "ඕ....ඕ...ඕ"  ගංගාව හඬන්නටවුනා. " මෙරිල්කා දකින්න නෑ. මට තවත් ගංගාවක් වෙන්න ඕනේ නෑ"එහෙම කියපු ගංගාව තවදුරටත් ගොර ගොර ශබ්ද නඟමින් හා කුඩා ‍රැළි නන්වමින් තව තවත් කුඩාවුනා. "අනේ!!!අනේ!!!"  මැග්ඩා වැලපුනා. ඈ බිඳුනු කළයේ කැබැළිති මැද හිඳගන්නා අතර  ඇගේ පාත්තයින් පීනීමට වෙනත් තැනක් සොයා ඇදුනා.
ජනෙක් නම් තරුණ එඬේරා මැග්ඩා බැලීමට ආවා. ඔහු ඈ වෙනුවෙන් ගීතයක් ඔහුගේ බටනලාවෙන් වැයුවා. පාත්තයන් බලන්නී ඔහුට සිදුවූදේ කී විට එක් වරම ඔහු වාදනය නැවතුවා. "කොතරම් දරුණු පුවතක්ද" ඔහු හඬා වැ‍ටුනා."අපි මරිල්කා නැතුව මොනා කරන්නද?" එවිටම වාගේ එක් බැටළු පැටවකු පැමිණියා. " ස්වාමියනි කරුණාකළ මැනව" බැටළු පැටවා කීවා. " වාදනය නවත්වන්න එපා,ඔබ වයනවිට තණ පත් මිහිරි රසයි. "මා ඉන්නේ අසතුටින්"ජනෙක් කිව්වා.."මෙරිල්කා දකින්ට නෑ.ඇගේ අම්මත් අඬනවා, තාත්තත් අඬනවා, කොකා පිහා‍ටු ගලවා දමල, චෙරි ගස  සියලුම පොහොට්‍ටු සොලවා බිම දමලා,ගංගාව කුඩා දියපාරක් බවට පත්වෙලා,මැග්ඩා ගේ කළය බිඳිලා,පාත්තයින් ඈතට ගොසින්." බැටළු පැටවා හිස වැනුවා." මරිල්කා දකින්න නැත්තේ නෑ"  බැටළු පැටවා එහෙම කිව්වා."ඈ එළු පැටවා තණ බිමට ‍රැගෙන ගිහින් අනෙක් සෑම උදෑසනකදීම වගේම. බලන්න... අන්න ඈ එනවා.."
සෑම දෙනාම මරිල්කා දු‍ටුවා,ඇගේ අම්මත් තාත්තාත් සතුටින් සිනාසුනා,කොකාට අළුත් පිහා‍ටු ලැබුනා,චෙරි ගස නැවුම් පොහොට්‍ටු වලින් පිරීගියා,දිය පාර නැවතත් ගංගාවක් වුනා, මැග්ඩා වතුර ගෙනයන්න අළුත් කළයක්  ‍රැගෙන ආවා. පාත්තයින් නැවත  බකල් ගමනින් ඇවිද ආවා. ජනෙක් ප්‍රීතිමත් තාලයක් වාදනය කරන අතරේ බැටළු පැටවුන් වෙන කවරදාකවත් නැති තරම් රසට දැනුනු තණ බුදින්නට වුනා.


ජනීනා ඩොමැන්ස්කා ගේ "MARILKA" පොතේ අනුවාදයකි.

Monday, October 10, 2011

පුංචි රළපෙළ


ගෙවාවිත්
දුර
සිපගන්නේ
බිඳෙන්නද
පොඩිවී
පුංචි
රළපෙළ

ආවේ
දුරගෙවා
අරගෙන
සිප්පිකටු

හැප්පි
ගල්පර
රැගෙන
කිරිපෙන

එන්න
පොඩි
පුතුනේ
වෙරළට


උපුටා ගත්තේ: ගල්මල්-Coral (22-03-2010) වෙතින්
පිංතූරය ගත්තේ: http://ih3.redbubble.net/

Wednesday, October 5, 2011

පුදබිමක අසිරිය -තොටගමු පුරාණ රජමහා විහාරය

වෙස්සන්තර ජාතක කතාව

මාර පරාජය


පහුගිය පුන් පෝය දවසක ඉපැරණි පුදබිමක් වුණ තොටගමුවේ  රන්පත් පුරාණ රජමහා විහාරය වන්දනාමාන කරගන්න මට ඉඩ ලැබුණා.
ගාලු කොලඹ ප්‍රධාන පාරේ කහව සහ හික්කඩුව කියන නගර දෙක අතර තියෙන පනස් හත්වෙනි  සැතපුම් කණුව කිට්ටුව තියෙන අතුරු පාරකින් මීටර පන්සීයක් විතර ඉස්සරහට යනකොට තමයි "තෙල්වත්තේ පුරාණ තොටගමු රන්පත් රජ මහා විහාරය " හමුවෙන්නේ.පන්සල පිහිටි ගම   හඳුන්වන්නේ "තෙල්වත්ත" කියලා .

මේ පන්සල ඓතිහාසික  වශයෙන් බොහොම වැදගත්කමක් ගන්න පූජනීය ස්ථානයක් . පුරා විද්‍යා දෙපාර්තමේන්තු ලිපි ලේඛණ වල "තෙල්වත්තේ පුරාණ  තොටගමු රජ මහා විහාරය" ලෙස හඳුන්වන නමුත් ගම් වැසියන් අතර ප්‍රසිද්ධ "තොටගමු විහාරය" කියලා.ලංකාවේ විහාර දේවාල වල නම් ගම් ඇති පැරණි පොතක් වෙන "නම් පොතෙත් " පන්සල හඳුන්වන්නේ ඔය කියන  නමින්. මෙහි සිත දියුණු කරගත් රහතුන් වහන්සේලා  වැඩසිටි නිසා "රන්පත් විහාරය" ලෙස හැඳින්වුණාලු. මේ පන්සලේ ඉතිහාසය අනුරාධපුර ,පොලොන්නරු යුගයන් තෙක් දිව යනවා .පොලොන්නරු යුගයේ සිටි පලවන විජයබා රජතුමා මෙහි විහාර කර්මාන්ත කෙරෙව්වා කියලා පැරණි පොතපතේ තියෙනවා.

කොහොම නමුත් මේ විහාරයේ ස්වර්ණමය යුගය සනිටුහන්වන්නේ කෝට්ටේ රාජධානි සම්යේ විසූ සයවෙනි පැරකුම්බා රජුගේ අනුග්‍රහය සහ උගත් පැවිදි පඬිරුවණක් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ අධිපතිත්වය නිසා.ෂඩ් භාෂා පරමේශ්වර රාහුල හිමියන් හා තොටගමු විහාරය අතර ඇත්තේ ගසට පොත්ත මෙන් බැඳුන සම්බන්ධතාවක් .

කුමර වියේ සිටම කාව්‍ය ශාස්ත්‍රයට උපන් හපන් කම් පෑ රාහුල හිමියන් ගැන බොහෝ ජනප්‍රවාද තියෙනවා. උන්වහන්සේ කුඩා කාලේ තමන්ගේ දුක සැප විමසන්න ආව හයවැනි පැරකුම්බා රජුට කවියකින් උත්තර දුන්නේ මෙහෙම

මා වැනි බිලින්දා -වර වර ලඟට කැන්දා
දුක් සැප කුමන්දා - අසන නිරිඳෝ වෙන කොයින්දා

පුංචි රාහුල හාමුදුරුවෝ පන්සල් මිදුලේ තිබුණ ගොම ගොඩක් අස්කරන්න සුර දෝතා නම් කොලුගැටයාට කවියකින් කිව්ව විදිය මේ

සුර දෝතා -වර මෑතා
ගොම දෝතා- දම ඈතා

වීදාගම මෛත්‍රිය හිමියන්ගේ ගෝලයෙක් වුණ රාහුල හිමියන්  සංස්කෘත, ප්‍රාකෘත,මාගධි, පෛසාචි,සෞරසේනි , අපබ්‍රංස කියන භාෂා හයෙහි කෙල පැමිනි උගතෙක් .ඒනිසයි උන්වහන්සේ ෂඩ් භාෂා පරමේෂ්වර වුනේ . කාව්‍ය කරණයේ කෙල පැමිනි රාහුල හිමියන් පරවි, සැලලිහිණි සන්දේශ කාව්‍ය සහ කාව්‍යශේඛරය රචනා කර තිබෙනවා.ඒ විතරක් නෙවේ ගුප්ත විද්‍යාවන්ගේ පරතෙරටම උගත් හාමුදුරුවෝ යකුන් ගස් බැඳගෙන වැඩගත්තා කියා ජනප්‍රවාද කතාවල කියවෙනවා.

කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා රජුගේ නොමද රාජ්‍ය අනුග්‍රහයත් ,රාහුල හිමියන්ගේ හසල බුද්ධි ප්‍රභාවත් හේතුවෙන් පහලොස්වැනි ශතවර්ෂයේ තොටගමු විහාරය උසස් විද්‍යාස්ථානයක් වෙලා තියෙනවා .එහි වූ විජයබා පිරිවෙණෙහි බොහෝ දෙස් විදෙස්  ගිහි පැවිදි උගතුන් ඉගෙනුම ලැබුවාලු. ඔවුන්ට කාව්‍ය , ඡන්දස්,තර්ක ශාස්ත්‍රය ,තුන්පිටකය , ගුප්ත විද්‍යා,සකු ,මගධ,දෙමල භාෂා, වෛද්‍ය ශාස්ත්‍රය,අර්ථශාස්ත්‍රය උගන්වලා තියෙනවා. "තොටගමුවෙ වෙලත් බණ බැරිනම් වැඩක් නෑ කියල" මේ පන්සල පැත්තේ මිනිස්සු අතර ජන වහරේ කියවෙන ප්‍රස්ථා පිරුලකුත් තියෙන්නවා.  උසස් අධාපන ආයතනයක් ලෙසින් විජයබා පිරිවෙණෙහි වූ අතීත ශ්‍රී විභූතිය ගිරා සංදේශයේ මේ  කවි පෙලින් කියවෙනවා.

විදි විහිගුම් සමුදුර වෙරළත හමුව
සුර පුර බිම් බටමෙන් වඩවන ළමුව
සැදි පලරම් විසිතුරු ගෙවුයන් සුමුව
දකු මනරම් සව් සිරි පිරි තොටගමුව (197 පැදිය )

තුරු යටියෙන් හුණු පැටි ලෙහෙණුන් රැගෙන
සිතු අටියෙන් සිඹ ඇඟැ පිරිමැද සෙමින
මල'ගටියෙන් පැන් පොවමින් අතින'තින
සිටිපැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන  (208 පැදිය )

මනරම් වෙහෙර තුල තැන තැන සපැමිණිය
සිතියම් බණ අසුන් විදහා අපමණය
සිත සොම්නසින් සිහිකර කර බුදු ගුණය
අබිදම් පෙල අරුත් විමසන සඟගණය (219 පැදිය )

ඔය කවි අතරින් ගස් වලින් බිම වැටුන ලේන් පැටවු ආදරයෙන් සිඹ පිරිමැද සනහා මල්ගොටු වලින් උන්ට පැන් පොවන පුංචි හාමුදුරුවරු ගැන කියන කවියට මම ගොඩක් ආසයි.ජනප්‍රවාදයන්ට අනුව මේ මහා පිරිවෙණෙහි විසූ විද්‍යාර්ථින්ගේ නඩත්තුවට අහල පහල ගම් වලින් ලොකු සේවයක් වෙලා තියෙනවා .ඔය හේතුව නිසාම ඒ ගම් වලට නම් යෙදිලා තියෙන්නෙත් ඔවුන් පිරිවෙණට සැපයූ සේවාව අනුව .

1) අහාර පාන සහල් බත් සැපයූ ගම -බත් දුන් ගම -බද්දේගම
2) සීනි සැපයූ ගම -සීනි ගම
3) පූජාවට මල් සැපයූ ගම -මල්වැන්න, මලවැන්න
4) පෙරහන්කඩ සැපයූ ගම- පැරෑලිය
5) පහන් පූජාවට තෙල් සැපයූ ගම -තෙල්වත්ත
6) රෑ පහන් ආලෝකවත් කරන්න මී ඉටි සැපයූ ගම -මීටියාගොඩ
7) හාමුදුරුවන්ට වෙහෙර විහාර තනාදුන් ගම -විහාරගොඩ , වේරගොඩ
8) සිවුරු පඬුපොවන්න උදවු කල ගම -කහව
9) අවු වැසි වලින් ආරක්ෂාවෙන්න බට පැලලි සැපයූ ගම - බටපොල
10) පිරිවෙණට සම්බන්ධ බමුණන් නැවතීසිටි ගම -බ්‍රහ්මණවත්ත  

ශ්‍රීවිභූතියෙන් ඇලලී ගිය මේ උසස් අද්‍යාපන ආයතනයට කණකොකා හඬන්නේ 1505 පෘතුගීසි ආක්‍රමණයත් එක්ක .ඔවුන් සියලු වෙහෙර විහාර ගිනිබත් කරනවා. ශතවර්ෂ දෙකක් විතර වල් බිහිවුණ මේ පුදබිම කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ,වැලිවිට සරණංකර සංඝරාජයන් සමග මෙහෙයවූ ආගමික පුනරුදය නිසා නැවත ස්ථාපනයවෙනවා ඒ 1734-1799 කාලෙදී. ඔය වකවානුවේ දැන් පුරාණ පිළිමගෙය කියලා හඳුන්වන විහාර මන්දිරය ගොඩනැගෙනවා.1805 දී දැන් අලුත් පිලිමගෙය කියලා හඳුන්වන විහාර මන්දිරය නිමවෙනවා .

පුරාණ පිළිමගෙයත් , අලුත් පිළිමගෙයත් කලාත්මක වශයෙන් බොහොම වැදගත් තැන් දෙකක් .මේ පිළිම ගෙවල් දෙකේම මහනුවර සම්ප්‍රදායට අයත් බිතු සිතුවම්, ලතා ,මාලා කර්ම  වලින්  අලංකාරවෙලා තියෙනවා.පැරණි පිළිමගෙයි වෙස්සන්තර ජාතකය , දහම්සොඬ ජාතකය සිතුවමට නගා තියෙනවා . එහි අන්තරාලයේ විශේෂ දෙව් රුවකුත් අඹලා තියෙනවා.ඒ විවාහයට ,ප්‍රෙමයට අදිපති අනංග දෙවියාගේ රුව .ලංකාවේ අනංග දෙවි රුවක් සහිත එකම පන්සල තොටගමු විහාරය  බවයි කියන්නේ.ගර්භ ගෘහයේ සැතපෙන් පිළිමයට ඉදිරියෙන් මතු බුදුවෙන බෝසතුන් බවට විශ්වාස කරන උපුල්වන් දෙවි රුවක් අඹාතියෙනවා .අලුත් විහාරගෙයි සාම ජාතකය ,අටවිසි බුදුවරු , බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී කල මාර පරාජය එහෙම දැකගන්න පුලුවන් .බුදුන් බුදුවූ බවට මහී කාන්තාව සාක්ෂි දෙන අයුරු , කෝපයෙන් දැවෙමින් ඇතුපිට නැගී සේනාව සමග එන මාරයා අපූරුවට සිත්තමට නගා තියෙනවා.

නුවර යුගයේ සිතුවම් වලට ආවේණික කහ ,රතු,සුදු ,නිල් වර්ණ රටා  සහ ද්විමාන  මිනිස් රූ ,සතුන් , ගස් වැල් මේ සිත්තම් වලත් තියෙනවා.මහනුවර යුගය වනවිට මහා සම්ප්‍රදායන්ගෙන් ඈත්වුණ ජන කලා සම්ප්‍රදායකට සාහිත්‍ය කලාවන් යොමුවෙලා ගැමියන් සිත්තරුන් වෙලා පොදු ජනයාගේ පහන් සංවේගය,ශ්‍රද්ධාව  පිණිස බණ කතා සිතුවමට නගනවා .1799දී නිමැවූ පුරාණ පිළිමගෙයි සිත්තම් අඳින්න ගාලුදිසාවේ කඩොල්ගල්ලේ මහ සිත්තරා සහ පොඩ්ඩ සිත්තරාගේ සේවය ලබාගෙන තියෙනවා.අලුත් පිළිමගෙයි සිතුවම් නිමවලා තියෙන්නේ අටකෝරළේ මුදියන්සේ සිත්තරා.විහාරගෙවල් වල බිතු සිතුවම් ගැන කියනකොට මතකද සැලලිහිණියේ එන තොටගමුවේ  රාහුල හිමියන් ලියූ මේ කවි පද ?

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති

18 වැනි හා 19 වැනි සියවස් වලත් තොටගමු විහාරය එවක විසූ දානපතියන්ගේ අනුග්‍රහයෙන් දියුණු පමුණු කරලා තියෙනවා .ඒ අතරින් සුවිසාලව ඉදිවුණ බණ මඩුව විශේෂයි .නමුත් කෝට්ටේ යුගයේ විශිෂ්ට විද්‍යාස්ථානයක් ලෙස පැවති යුගයනම් ඉන් පස්සේ ආව පර සතුරු උවදුරු එක්ක ගරාවැටෙනවා.විශේෂයෙන් ඉංග්‍රිසින් කෝල්බෘක් ප්‍රතිසංස්කරණ යටතේ පිරිවෙන් අධ්‍යාපනය බැහැර කර දමනවනේ .ඉතින් පන්සල් වලට විසාල අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන්න රාජ්‍ය අනුග්‍රහය නැතිවෙලායාම නිසා පන්සල ආශ්‍රිතව ගොඩ නැගුණ පිරිවෙන් අධ්‍යාපනය බිඳ වැටෙනවා .


යුග කීපයක් තිස්සේ නැගෙමින් , වැටෙමින් පැවතගෙන එන මේ පැරණි පන්සලේ අදත් ඒ අතීත ශ්‍රී විභූතියේ නටබුන් තියෙනවා .පහුගිය සුනාමි මහා ජල ගැල්ම වෙලාවේ අහල පහල ගම් වල  අසරණ වුණ බොහෝ පිරිස් දිවි ගලවාගන්න දුවගෙන ආවෙත් මේ පන්සලට .පුරාණෝක්ති කතාවක කියනවා කැලණිතිස්ස රජ සමයේ මුහුද ගොඩගැලූ විටත් සක් දෙවි රජ මේ පන්සල ආරක්ෂා කලා කියලා. ගැමියො අදත් කියන්නේ මුහුද නුදුරින් තිබුණත්  සුනාමි සැඩ රල පන්සලට ආවෙ නැත්තේ ඒ නිසා කියලා .මෙහි ඇති නාථ ,විශ්ණු හා කතරගම දේවාල ගැනත් බෝධීන් වහන්සේ ගැනත් අහල පහල ගම් වල උදවියගේ ලොකු විශ්වාසයක් තියෙනවා.

ගාලු පාරේ තියෙන ඓතිහාසික හා කලාත්මක වටිනාකමක් සහිත ඒත් බොහෝ ප්‍රසිද්ධනැති බොදු පුදබිමක තොරතුරු ඔන්න මම පුංචිත්තාට ලිව්වා .ගාලු පාරදිගේ විනෝද ගමනක් , වන්දනාගමනක් යන දවසක තොටගමු රජමහා විහාරය බලන්න යන්නත් අමතක කරන්න එපා . සිංහල සාහිත්‍ය , චිත්‍ර කලාව , ඉතිහාසය ගැන උනන්දුවක් ආසාවක් දක්වන දුවලා, පුතාල බලන්න වටින තැනක් මේ තොටගමු රන්පත් රජමහා විහාරය.