හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Saturday, March 3, 2012

ටැංකි මාළුවාගේ දුක් ගීය


 නිසල නිල් දියක තනිවුණ
සරන දස අතම මින් කැළ
ඉසුරු ඇති නමුත් සපිරුණ
හිතක නැති සතුට කුමකට?

ඇළක ගංදියක සුව මිස
මැවෙන නව ලොවක කොහිවෙද?
පාට හැඩ ලබා ඉපදුන
පවම මිස අනෙක් කවරෙද?

දහස් ගවු ගනන් සැරුවද
යලිත් එකම තැන තනිවෙන
මසුන් නොකියනා වදනක
අසන් මිනිසුනේ ඇති හර

ඇළක උඩු අතට පිහිනන
සතුට දෙව් මිනිස් සැප මෙන !
කොතෙක් හැඩ රුවට තිබුණද
පියුම් සමුදුරේ පිපුණෙද?






අපි හැමදෙනාම කැමති නිදහසේ ඉන්න. ඒ නිසානෙ අපි ඉගෙන ගන්නෙ සතුන් කූඩුවල තියා ගන්න එක පව් කියලා. එතකොට මාළු?. අපි ආසයිනෙ පාට, පාට ලස්සන මාළු  වීදුරු ටැංකිවල දාලා ගෙදර තියාගෙන ඉන්න. හදවත් රෝගවලට ප්‍රතිකාර කරන  වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා ඒ මේ අත පිහිනන මාළු දිහා බලාගෙන ඉඳීමෙන් හිත සන්සුන් වෙලා, මනස සැහැල්ලු වෙලා අපි නිරෝගි වෙනවා කියලා.

ඒත් පුංචි මාළු..... මාළු කියලා වෙනසක් නැහැ. ඒගොල්ලොත් කැමති ඇති වීදුරු ටැංකිවල හිරවෙලා ඉන්නවාට වඩා ඇළක, දොළක එහෙමත් නැත්නම් ගඟක නිදහසේ ඉන්න. අපි ඒගොල්ලන්ට අපිට ඕනා වෙලාවට දෙන කෘතිම ආහාර කනවා වෙනුවට, මාළු කැමති ඇති දිය රැළි අතරින් පීනලා ගිහින්, තමන් ආසා කෑම ජාති එහෙම හොයාගෙන කන්න උනත්.

මේ සිතිවිල්ල අකුරු කරලා ලියපු කවි පන්තිය 1998 නොවැම්බර් මාසෙ 18 විදුසර විද්‍යා සඟරාවෙ පළවුණා "ටැංකි මාළුවාගේ දුක් ගීය" නමින්.