හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Monday, November 28, 2011

අප්පුවා රජ වෙයි



පුතාල දුවලා අහලා ඇතිනේ කුරුණෑගල රාජධාණිය ගැන.  බොහෝ කාලයක්ම ලංකාවේ බලවත් රාජධානියක්ව පැවති බවත් දන්නවා ඇති.  මීට සියවස් ගණනාවකට ඉස්සර එහි බුවනෙකබාහු නමින් රජකෙනෙක් හිටියා.  ඒ රජුගේ බිසෝවරුන් වාසය කලේ වීරාගල නම් පුරවරයේයි.

මේ බුවනෙකබාහු රජුට දාව මුස්ලිම් කාන්තාවකට පුතෙක් උපන්නා.  ඔහුට වත්හිමි බණ්ඩාර යයි නම් තැබුවා.  හැබැයි රජුට අනෙක් බිසෝවරුන්ගෙන් දරුවන් හිටියේ නැහැ.  ඒ නිසා මේ වත්හිමි කුමරාට බොහෝම ආදරෙන් කරුණාවෙන් ඇති දැඩි කලා.  කාලයක් ගතවුනා.  වීරාගල අගබිසවටත් පුත් රුවනක් ලැබුනා.  ඒ කුමාරයා කාලිංග නමින් හැදින්වූවා.

මේ විදියට කාලය ගතවෙනකොට දඹදෙණිය අසල වාසයකළ එක්තරා සිංහල අධිපතියෙක් බුවනෙකබා රජුට විරුද්ධව යුධයට ආවා.  රජතුමා යුධ සේනාව රැස්කරවා වීරාගලට ගොස් සිය පෙම්බර බිසෝවරුන්ගෙන් ද අවසර ගෙන යුධ පිණිස නික්මුනා.  බිසෝවරු “ඔබගේ ජය පරාජය අප කෙසේ දැනකනිම්ද? ප්‍රශ්ණයක් නැගුවා.  ජය ලදහොත් සුදු කොඩියක් දක්වන බවත් පරාජය වුවහොත් කළු කොඩියක් දක්වන බවත් පවසා රජු සටනට ගියා.

දඹදෙණියට නුදුරු ස්ථානයකදී දෙපිරිස අතර සටන් ඇරඹුනා.  බුවනෙකබාහු රජුට ජය අත්වුනා.  රජ තම ජයග්‍රහණය බිසෝවරුන්ට දන්වන්නට දණ්ඩගමුවේ කෝරාළ පිටත් කොට හැරියා.  ඔහු වීරාගලට එන අතරමගදී රා කලයක් බී හොදටම මත්වී බිසෝවරුන්ට විහිලුවක් කිරීමට සිතාගත්තා.

මේ වනවිට බිසෝවරු යුද්ධයේ තොරතුරු දැනගැනීමේ මහත් ඕනෑකමින් වීරාගල පුරයෙහි තිබුණ බැලුමගලට නැග අවට පිළිබදව සෝදිසියෙන් සිටියා.  දණ්ඩගමුවේ කෝරාළ සුදු කොඩිය වෙනුවට කළු කොඩිය ඔසවා දුර සිටි බිසෝවරුන්ට දැක්වුවා.  සිය රජතුමා පරාජයට පත්වී ඇති බව දැනගත් බිසෝවරු මහත්සේ කම්පාවට පත්වී සතුරා අතට පත්වනවාට වඩා මරණය යෙහෙකැයි සිතා බැලුම්ගලින් බිමට පැන සිය දිවි නසා ගත්තා.

දණ්ඩගමුවේ කෝරාළගේ වෙරි සිදී ගොස් පියවි සිහිය ආවේ ඒවෙලාවෙයි.  ඔහු පමා වූවා වැඩියි.  රජුගෙන් ලැබෙන දඩුවම ගැන හොදින්ම දත් ඔහු බින්තැන්නට පලාගොස් සැගවී ගත්තා. වැඩිවේලාවක් ගත නොවි බුවනෙකබාහු රජතුමා වීරාගලට සැපත්වුනා.  සිදුවී ඇති විපත දැක මහත්සේ කම්පාවට පත්වූ එතුමා එම ගලින්ම බිමට පැන සිය දිවි නසා ගත්තා.

වීරාගල මාළිගයට රෙදි අපුල්ලන හේරත් මාමාගේ බිරිද රෙදි නැන්දා සුපුරුදු පරිදි මාළිගයට ආවා.  සිදුවී ඇති මහා විපත දුටු ඇය මාළිගාවේ මේ වනවිට තනිවී සිටි කාලිංග කුමරා රහසිගතව ගෙන ගොස් කළුන්දෑවේ ගමරාළට භාර කලා.  එහෙත් කුමරු පිලිබද රහස ඔහුට හෙළි කලේ නැහැ.  ගමරාළත් කුමරා බිළිබද කිසිවක් දැනගෙන හිටියේ නැහැ.  නමුත් තමන්ගේ පුතෙකු මෙන් බොහෝම සෙනෙහසින් ඔහු ඇතිදැඩි කලා.  ඔහුට අප්පුවා යයි නම් තැබුවා.  ගමරාළගේ බිරිද යහපත් ගතිගුණ ඇති තැනැත්තියක්.

කළුන්දෑවේ ගමරාළට කළු එතනා හා සිරිමල් එතනා යයි දියණියන් දෙදෙනෙකු සිටියා.  කල්යත්ම අප්පුවා හැඩිදැඩි දැකුම්කළු තරුණයෙක් බවට පත්වුනා.  ඔහු ගමරාළ සමග ඔහුගේ කුඹුරු පිටියේ වැඩටද සහභාගී වුනා.

එක් දිනක් ගමරාළ අප්පුවාට යකඩ ටිකක් දී කැත්තක් සාදවා ගෙන එන්නයැයි ගමේ කම්මල් නයිදේ වෙත යැවුවා.  මේ වෙනකොට කම්මල් නයිදේ දවල් බතට ගෙදර ගොස් සිටියේ.  අප්පුවා තමා වෙත ගෙන ආ යකඩ ටික තලා කැත්තක් සාදා ගත්තා.  බත නිමවී කම්මලට ආ නයිදේ අප්පුවාගේ හපන්කම් දැක පුදුමයට පත්වුනා.  රහසිගතව ගමරාළ වෙත ගොස් අප්පුවාගේ සමත්කම් කියා තම දියණියක් ඔහුට විවාහකොට දී පවුලේ කෙනෙකු බවට පත්කර නොගත්තේ මන්දැයි විමසුවා. 

ගමරාළ සිය වැඩිමහල් දියණිය කළු එතනාට අප්පුවා හා විවාහ වන මෙන් කියා සිටියා.  ආඩම්බරකාරියක් වූ ඇය පියාගේ කීම එකහෙලාම ප්‍රතික්ෂේප කලා.  නමුත් සිරිමල් එතනා නිහතමානී  පියාගේ බසට කීකරු තරුණියක්.  ඇය තම පියාගේ කැමැත්තට අනුව අප්පුවා සමග දීග ගියා.

ඔවුන්ට දායාදයක් ද ලැබුනා.  ඒ කුඩා කුඹුරු කැබැල්ලක්.  වපුරණ කාලයත් ආවා.  අප්පුවා තමාගේ කුඹුර වපුරනු රිසි වූයේ මහදුරයා ළගට ගොස් ණයට ගොන් බානක් ඉල්ලුවා.  මහදුරයා හෙට වරෙන් හෙට වරෙන් යයි දින ගණනාවක්ම අප්පුවා රස්තියාදු කලා.  මේ ගැන ඔහුගේ බිරිද සැමියාට දොස් නැගුවා.  මහදුරයා එවිට බිරිදට කිවුවේ අප්පුවා රජවී මා උල තියන්ටද යනුවෙනුයි.  මෙය අප්පුවාටත් ඇසුනා.  මේ සිද්ධිය ගැන අප්පුයාගෙන් දැනගත් කළුන්දෑවේ ගමරාළ වල් වැදී සිටින තමාගේ බානක් හැකි නම් අල්ලාගෙන සීසාගන්නැයි කීවා.

පසුදින අප්පුවා මහත් වෑයමකින් ගොන් බානක් අල්ලාගෙන සි සෑමට කුඹුරට ගියා.  සිරිමල් එතනා සැමියාට ඇඹුල ගෙන කුඹුරට ආවා.  බත් කා මදක් වෙහෙස නිමවා ගනු පිණිස අප්පුවා අසලවූ ගසක් මුල වැතිරුණා.  සිරිමල් එතනා ඔහුට නින්ද යනතෙක් හිස අතගාමින් සිටියා.  අප්පුවාට නින්ද ගියා.  ඔහු සිහිනයක් දැක හදිසියේම අවදි වුනා.  ඒ සිහිනය නම් තමාගේ කකුලේ ඔඩු දුවපු වනයක් දැකීමයි.  ඒ සිහිනය ඇසූ සිරිමල් එතනා

“එහෙනම් ඔයාට ලංකාවේ රජකම ලැබේවි.  යයි විහිළු කලා.

ගතවුනේ මොහොතක් පමණයි.  මහත් පෙරහරකින් එන පංච තූර්ය නාදයෙන් යුත් මංගල ඇතෙක් ඔවුන් ඉදිරියේ දිස් වුනා.  අප්පුවා වෙතටම ආ ඇතා ඔහු ඉදිරියේ දනින් වැටුනා.  ඇතා සමග පැමිණි ඇමති ගණයා වහා අප්පුවා රජ බරණින් සරසා ඇතු පිට හිදුවා මාළිගයට කැදවාගෙන ගොස් ලංකාද්වීපයෙහි රජු වශයෙන් ඔටුනු පැළදවූවා.  ඉන්පසුව සිරිමල් එතනා අගබිසෝ තනතුරට පත්වුනා.  අප්පුවා නමින් සිටි මේ කාලිංග කුමරුවා 4 වෙනි පරාක්‍රමබාහු නමින් පෙනී සිටියා. 

තමාට ගවයන් නොදී සමච්චල් කල මහදුරයා ගෙන්වා උල තැබීමට නියම කර ඔහුගේ බිරිදගේ නඩත්තුවට සෑහෙන වතු කුඹුරු අතහැර අනෙක් සියල්ලම රාජසන්තක කලා.

මේ කාලයේදී වත්හිමි බණ්ඩාරට වූයේ කුමක්දැයි දැනගන්නට දැන් කවුරුත් උනන්දුවෙන් ඇති.  එහෙම නේද?  බුවනෙකබාහු රජුගේ මරණින් පසු රජ බවට පත් වත්හිමි වැසියාටත් බුද්ධාගමටත් අහිතවත්ව මුස්ලිම් වරුන්ගේ බහට රට පාලනය කලා.  මේ නිසා බොහෝ සේ කළකිරීමට පත් භික්ෂූන්වහන්සේලා හා සිංහල ඇමතිවරු කුමන්ත්‍රණය කොට ඇතුගල මුදුනේ පිරිත් මණ්ඩපයක් තනවා මහා පින්කමක් සලස්වා වත්හිමි රජතුමාට එහි පැමිණෙන ලෙස ආරාධනා කලා.  සැලසුම් ප්‍රකාර පිරිත් මණ්ඩපය සමග රජු කන්දෙන් බිමට දමා මරාදැමුවා.  මේ බව සැලවූ මහමත් මව් බිසවත් සිය දිවි නසා ගත්තා.  රජුට පුරෝහිතකම් කල මහමත් ඇමතිවරුද මරා දමනු ලැබුවා.  ගලෙන් වැටී මල නිසා වත්හිමි බණ්ඩාරට ගලේ බන්ඩාර යයි නම්තැබුනා.  මේ පර්වතය අසල ගලේ බන්ඩාරට කැපවූ මහමත් දේවාලයක් ද පිහිටුවා තියෙනවා.  වන්නි පත්තුවේ හා හතර කෝරලේ වැසියෝ අදත් ගලේබන්ඩාර දෙවියන්ට පුද පූජා පවත්වනු ලබනවා. 

4 වන පැරකුම්බා රජ්ජුරුවෝ රටටත් වැසියාටත් බුද්ධාගමටත් බොහෝ හිතවත්ව දැහැමින් සෙමෙන් සෑහෙන කාලයක් කුරුණෑගල අගනුවර කරගෙන රාජ්‍ය කරගෙන ගියා.

4 comments:

  1. බොහොම වැදගත් ඉතිහාස කථාවක් මල්මි. මමත් සමහර කරුණු දැනගත්තේ අදයි. දුවල පුතාල අපේ ඉතිහාසය දැනගෙන ඉන්නම ඕනෙ. ඉතිහාසයක් නැති රටකට දැක්මක් නෑ. අපි බොහොම ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ජාතියක් බව අපි ආඩම්බරයෙන් කියන්න තියෙන්නෙ අපේ ඉතිහාසයෙන්. ඒ වගේම ගුණධර්මත් අපි දියුණු කරගන්න ඕනෙ. මල්මි නැන්දට ගොඩාක් ස්තූතියි! මේ කථාවට. දැක්ක නේද, රජතුමා මහදුරයාට දඩුවම් දුන්නට රජකෙනෙක්ගෙ යුතුකමත් ඉටුකලබව.

    ReplyDelete
  2. ස්තුතියි චන්දි නැන්දාගේ අදහස් වලට.

    ReplyDelete
  3. දූලා පුතාලාට අගනා කතාවක් තිළිණ කර මල්මි නැන්දාට බොහෝමත්ම ස්තුතියි.

    නොදන්න දේවල් බොහෝමයක් මේ කතාව කියවලා දැන ගත්තා.

    ReplyDelete
  4. ගල්මල්-Coral

    ස්තුතියි ගල්මල් මාමාට,

    ReplyDelete