හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Sunday, November 13, 2011

අකරුණාවන්ත තාත්තා හා බොරුකාර එළදෙන!


අකරුණාවන්ත තාත්තා හා බොරුකාර එළදෙන!

දුවේ පුතේ මේ කියන්න යන්නේ එකමත් එක කාලෙක හිටිය අප්‍රිකානු තාත්තා කෙනෙකුයි පුතාල තුන් දෙනෙකුයි ගැන. ඉතින් මේ අයට හිටිය ඉතාම වටිනා වාසනාවන්ත එළ හරකෙකුත්. මේ හතර දෙනා හිටියෙ අප්‍රිකාවෙ. තාත්තා හරිම ආඩම්බරයි මේ එළදෙන ගැන. ඒ මොකද දන්නවද? ඒ එළදෙන හැම අවුරුද්දකම හොඳ වහු පැටියෙක් ඔහුට දෙන හින්ද. දවසක් මේ තාත්තා කියනවා ලොකු පුතාට "පුතේ මේ එළදෙනව හොඳට වතුර, කෑම තියෙන තැනකට ගෙනියන්න" කියල. පුතාල , දුවල දන්නවනෙ අප්‍රිකාවෙ හැම තැනම වතුර නෑ. හරිම හිඟයි වතුර. ඉතින් මේ පුතා එළදෙනව අරගෙන ගියා වතුර තියෙන තැනක් සොයාගෙන. ඇවිදගෙන යනකොට ඒ පුතාට ඔන්න හම්බ උනා හොඳට වැඩුන තණ තියෙන තැනක්. ඒ අසලම තිබුන වතුර වලකුත් තිබුන නිසා එයාට හරි සතුටුයි. පුතා මේ වැස්සිව එතන දිගෙලි කරල ඇතිවෙන කල් කැම කන්න ඇරිය. ඊට පස්සෙ හොඳට වතුරත් බොන්න දුන්න. දැන් ඉතින් ගෙදර යන්න වෙලාව හරි. ඉතින් දෙන්න එක්ක ගෙදර ගියා.


තාත්තා බොහොම සතුටින් ඇහුව මේ එළදෙනගෙන් කොහොමද? හොඳට කෑම බීම ලැබුනද ? කියල. එතකොට මේ එළදෙන කියනවා මෙන්න මෙහෙම. " ම්….. ……………අනේ, ඔබේ නපුරු පුතා මාව ගෙනිහින් කැලෑවකට දැම්ම. එතන වතුර වත් තණකොළ වත් තිබුනෙ නෑ. එයා හොඳටම නිදාගත්තා." කියල.

ඉතින් මේ තාත්තාට හරියට තරහා ගියා මේ පුතා එක්ක. පුතාට කතා කරලා පුතාට ගෙදරින් යන්න කිව්වා. දැන් පුතාට කරන්න දෙයක් නෑ. ගෙදරින් යන්න ගියා. ඔහොම යනකොට පුතාට හම්බ උනා ගොවිපලක්. ඒකෙ හිටියා ඉතාම කරුණාවන්ත ගොවි මහතෙක්. ඔහු මේ පුතාගෙ කතාව අහලා පුතාට ඉඩ දුන්නා ගොවිපළේ නවතින්න. ඉතින් පුතා එහේ නැවතිලා හොඳින් හැම වැඩක්ම ඉගෙන ගත්තා. කවදාහරි තාත්තා ළගට ගිහින් හොඳින් ගොවිතැන් කරන්න කියලා පුතාට ගොවි මහතා අවවාද කලා.
මේ අතර තාත්තා දෙවෙනි පුතාටත් කියනවා අර විදිහටම එළදෙනව අරන් ගිහින් කෑම දෙන්න කියල. ඉතින් මේ දෙවෙනි පුතාත් මේ එළදෙනව අරගෙන යනවා වතුර හා තණකොළ තියෙන තැනක් සොයාගෙන. එයත් එයාගෙ අයියා වගේම එළදෙනව ගෙනිහින් වතුර තියෙන තැනකින් එළදෙනව නාවලා කන්න දීල ගැට ගහල එයත් ටිකක් හාන්සි වෙනවා. තාත්තා මෙ දෙන්නා ඉන්න තැනට ඇවිත් අහනවා " කොහොමද? එළදෙනට අද කෑම වතුර එහෙම ලැබුනාද?" කියල.



එතකොටත් මේ එළදෙන කියනවා "මේ බලන්න, මාව ගැට ගහල මෙ පුතා මට වතුරවත් කන්නවත් දෙන්නෙ නැතිව හොඳටම නිදි නේ" කියල. දැන් ඉතින් තාත්තාට හොඳටෝම කේන්තියි. එයා මොකද කරන්නෙ දිග කෝටුවක් කඩාගෙන පුතාට හොඳටම ගැහුවා. ගහල එයාවත් ගෙදරින් පන්නනවා. ඒ පුතාත් ඇවිදගෙන ඇවිදගෙන යත්දි එයා යන්නෙ කම්මල් කාරයෙක් ළඟටයි. ඒ කම්මල් කාරයා එයාට හොඳට ආයුධ හදන හැටිත් දඬයම් කරන හැටිත් කියල දෙනවා දීල කියනවා "පුතේ ඔයා කවදාහරි ඔයාගෙ තාත්තට කියල දෙන්න අර මෝඩ, දුශ්ට එළදෙන නැතුවට මෙ වැඩ එයාට හොඳින් කරගන්න පුළුවන්" කියල.

ඔය අතරේ තාත්තා තුන්වෙනි පුතාටත් කියනවා "පුතේ, ඔයාත් මේ එළදෙනට කන්න ටිකක් හොයල දෙන්න, හැබැයි හොඳට මතක තියාගන්න අයියල දෙන්නා වාගෙ එහෙම නොකරන්න. ඔයාවත් පිටමන් කරන්න උනොත් මගෙ පපුව පැලේවි "කියල . ඉතින් මේ පුතාත් ඔන්න අයියලා විදිහටම හොඳට තණකොළ තියෙන තැනකට ගෙනිහින් මේ එළදෙනට කන්න දුන්නා. ඊට පස්සෙ නාවලා ගහක ගැට ගැහුවා විතරයි තාත්තා එතනට ආවා. වෙනදා වාගෙම තාත්තා ඒ එළදෙනගෙන් ඇහුවා හොඳින් කෑම කෑවාද? කියලා. මේ විදිහට ඇහුවාම පෙර කිව්වා වගේම එළදෙන කියනවා " අනේ මේ පුතාත් අර නැහැදිච්ච අයියලා වාගෙමයි. මාව පොඩ්ඩක්වත් තණකොළ නැති තැනකට ගෙනත් බැඳලා තිබ්බා මාව මැරෙන්න, කන්නවත් වතුර වත් දුන්නේ නෑ" කියලා. දැන් කරන්න දෙයක් නෑ, තාත්තා දිග කෝටුවක් කඩාගෙන මේ පුතාවත් පන්නනවා ගෙදරින් යන්න කියල.



අනේ! මේ පුතාත් ඇවිදගෙන යත්දි ඔන්න හොඳට ඉගෙන ගත්ත මහත්තයෙක් ළඟට එනවා. ඒ මහත්තයා පුතාට බොහොම ආදරෙන් අකුරු කියන්න , ලියන්න උගන්වනවා. ඔය අතරේ තාත්තා විතරයි දැන් මේ එළදෙනට කන්න දෙන්න ඉන්නේ. ඉතින් එයා ළමයින් වගේම හොඳට වතුර හා තණකොළ තියෙන තැනකට ගෙනිහින් එළදෙනට කන්න දෙනවා. ඊට පස්සෙ අහනවා " එළදෙන, ඔබගේ බඩ පිරුනද? හොඳට වතුර බිව්වද?" කියල. එතකොට අර එළදෙන කියනවා " ඔබත් අර ඔබගේ මෝඩ කොල්ලො වගේමයි, මට කන්න දුන්නෙත් නෑ, බොන්න දුන්නෙත් නෑ. මාව බඩඟින්නේ තිබ්බ" කියල කිව්වා. ඔන්න දුවේ පුතේ එතකොට තමයි වැටහුනේ මේ එළදෙන හැමදාම බොරු කියපු බව.

හා! උඹ හැමදාම මාව රැවැට්ටුවා, මම මගෙ අහිංසක ළමයින් වත් එළවා ගත්තා. ඉඳින් මම උඹට හොඳ වැඩක් කරන්නකියල කෙවිටෙන් ගහල ගහල මේ එළදෙනව කැලෑවෙ අතරමං කරල බොහොම දුකෙන් ගෙදර ආව. ඉතින්, ඊට පස්සෙ මේ තාත්තා ගම් දනව් පසුකරගෙන ගිහින් මේ පුතාල තුන් දෙනාවම හෙව්වා. ඒත් හම්බ උනේ නෑ. කාලයකට පස්සෙ ගෙදර ආවෙ බොහොම මහළු වෙලා. දැන් අතපය හයිය නෑ වැඩපල කරගන්න. පුතාල ගැන හිතමින් දුක් වෙනවා.

දවසක් ඉරිදා පොළ දවසක, තාත්තා පොළට යනවා බඩු ගන්න. බොහොම දුර්වලව හිටිය මේ තාත්තව කලන්තෙ දාල වැටෙනවා. ඒ සද්දෙට හැමෝම එකතුවෙනවා. මේ අය අතරෙ ගොවිපලේ පලදාව විකුනන්න ආව ලොකු පුතාත්, ආයුධ විකුනන්න ආව දෙවෙනි පුතාත්, මහත්තයා එක්ක බඩු ගන්න ආව තුන්වෙනි පුතාත් එතනට එකතුවෙනවා.



ඒ වෙලාවෙ, ඒ ඉන්නෙ අපේම තාත්තා බව පුතාල තුන් දෙනාම හඳුනා ගන්නවා. ඒ අය සහොදරයො බවත් දැනගන්නවා. තාත්තාට සිහිය ආවම හරිම සතුටුයි. මේ තාත්තා පුතාල තුන්දෙනාගෙන්ම සමාව ඉල්ලනවා. "පුතාලා මගේ ඇස් දෙක ඇරුනා. මම, මගේ වැරැද්ද හඳුනා ගෙන බොහෝ කල්, මට මගේ එළදෙනට වඩා ඔයාල තුන් දෙනාම වටිනවා දරුවනේ " කියල පුතාලව සෙනෙහසින් සිප ගන්නවා. ඉතින් එදා ඉඳලා හැමෝම ගොවිතැන් කරගෙන සතුටින්, ආදරෙන් ඒ අයගෙ තාත්තාව බලා ගන්නවා.

14 comments:

  1. වංක අය කෙරෙහි තබා ඇති විශ්වාසය නිසා මොනතරම් නම් හානි සිදුවෙනවා ද කියන එක මේ ජනකතාව මනාවට පැහැදිලි කරනවා.

    දූලා පුතාලා වෙනුවෙන් විශේෂයෙන් අප්‍රිකානු ජනකතා තිලිණ කරන චාන්දි නැන්දාට ගොඩාක් පින්. චාන්දි නැන්දාට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  2. ආදර්ශවත් කථාවක්...අදටත් ඒ වගේම ගැලපෙනවා....ස්තුතියි සටහනට.....

    ReplyDelete
  3. ඩීන් මාමාට ස්තූතියි! මේ සටහන ලස්සනට පිළිවෙලට හදා දුන්නාට. ඔබ නොදුටු ලොවක් මාමාටත් තුති මේ සටහනට වදනක් ලිව්වාට. මාමා අප්‍රිකාවෙ ඉන්න බව දැනගත්තාම තවත් සතුටුයි. අපිට ඔහේ විස්තරත් කියන්න කියල ආදරෙන් ඉල්ලනවා පුංචි දුවල පුතාල වෙනුවෙන්.

    ReplyDelete
  4. මට මේක අලුත්ම කතාවක් . බොහොම ස්තුතියි .

    ReplyDelete
  5. ස්තුතියි! බින්දි නැන්දා.

    ReplyDelete
  6. ලස්සනයි කතාන්දරය . චන්දි මහත්මිය හැකිනම් මට ඔබතුමීගේ e- mail address එක දෙන්න . මගේ E - mail address එක viyamana.art@gmail.com

    ReplyDelete
  7. හරිම ලස්සනයි . .. මගේ පුතාත් ටිකක් ලොකු උනාම මේ බ්ලොග් එකේ කතා ටික කියල දෙනවා මම.
    බොහෝම ස්තූතියි

    ReplyDelete
  8. @සුශාන්;
    බොහොම ස්තූතියි සුශාන් මල්ලි.

    ReplyDelete
  9. @ දුකා;
    ස්තූතියි දුකා මල්ලි. පුංචි පැටියා ලොකු වෙලා හොඳ මිනිසෙකු වෙනව නම් ඒක තමයි තාත්තෙකුට තියෙන ලොකුම සතුට. ජය පතනවා පුංචි පුතාට තෙරුවන් සරණින් වාසනාවන්ත අනාගතයකට.

    ReplyDelete
  10. බොහොම ලස්සනයි. අපේ රටේ විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල තියෙන තත්වයක් තමයි.. හොඳට වැඩ කරන මිනිස්සු වැඩ නොකරන කේලම් පාලලා නිසා දාල යන්න යනවා. වැඩ නොකරන උන් රජවෙනවා.

    ReplyDelete
  11. ඒක නම් සහතික ඇත්ත සරත් මල්ලී. පොඩි අයට කතාව ලිව්වාට අපේ රටේ ලොකු ඇත්තන්ටත් මේක හරියටම ගැලපෙනවා. ස්තූතියි! මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  12. පෝස්ට් එක සහ කොමෙන්ට් කියෙව්වා. අද වැඩ යන හැටියට ගැලපෙන කතාවක්.

    ReplyDelete
  13. පුංචි වදනක් හෝ ලියා මේ දෙන සහයෝගයට ඔබා මල්ලිටත් ස්තූතියි.

    ReplyDelete
  14. ටික දවසකට පස්සේ අදයි මේ පැත්තේ ආවේ. ලස්සන කතාවක් චන්දි. තවත් මේ වගේ කතා ලියන්න. පොඩිත්තන්ට වගේම අපිටත් දැනගන්න හොදයි.

    මට හිතෙන්නේ බ්ලොග් එකේ මොනවා හරි අවුලක්ද මන්දා. කලින් මම පෝස්ට් එකක් දාලා ඒක මොනවා හරි වෙලා තිබුනා. ඒ ගැන සොයා බැලුවොත් හොදයි. මට නම් හොද දැනුමක් නෑ ඒ ගැන.

    ReplyDelete