හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Saturday, March 3, 2012

ටැංකි මාළුවාගේ දුක් ගීය


 නිසල නිල් දියක තනිවුණ
සරන දස අතම මින් කැළ
ඉසුරු ඇති නමුත් සපිරුණ
හිතක නැති සතුට කුමකට?

ඇළක ගංදියක සුව මිස
මැවෙන නව ලොවක කොහිවෙද?
පාට හැඩ ලබා ඉපදුන
පවම මිස අනෙක් කවරෙද?

දහස් ගවු ගනන් සැරුවද
යලිත් එකම තැන තනිවෙන
මසුන් නොකියනා වදනක
අසන් මිනිසුනේ ඇති හර

ඇළක උඩු අතට පිහිනන
සතුට දෙව් මිනිස් සැප මෙන !
කොතෙක් හැඩ රුවට තිබුණද
පියුම් සමුදුරේ පිපුණෙද?






අපි හැමදෙනාම කැමති නිදහසේ ඉන්න. ඒ නිසානෙ අපි ඉගෙන ගන්නෙ සතුන් කූඩුවල තියා ගන්න එක පව් කියලා. එතකොට මාළු?. අපි ආසයිනෙ පාට, පාට ලස්සන මාළු  වීදුරු ටැංකිවල දාලා ගෙදර තියාගෙන ඉන්න. හදවත් රෝගවලට ප්‍රතිකාර කරන  වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා ඒ මේ අත පිහිනන මාළු දිහා බලාගෙන ඉඳීමෙන් හිත සන්සුන් වෙලා, මනස සැහැල්ලු වෙලා අපි නිරෝගි වෙනවා කියලා.

ඒත් පුංචි මාළු..... මාළු කියලා වෙනසක් නැහැ. ඒගොල්ලොත් කැමති ඇති වීදුරු ටැංකිවල හිරවෙලා ඉන්නවාට වඩා ඇළක, දොළක එහෙමත් නැත්නම් ගඟක නිදහසේ ඉන්න. අපි ඒගොල්ලන්ට අපිට ඕනා වෙලාවට දෙන කෘතිම ආහාර කනවා වෙනුවට, මාළු කැමති ඇති දිය රැළි අතරින් පීනලා ගිහින්, තමන් ආසා කෑම ජාති එහෙම හොයාගෙන කන්න උනත්.

මේ සිතිවිල්ල අකුරු කරලා ලියපු කවි පන්තිය 1998 නොවැම්බර් මාසෙ 18 විදුසර විද්‍යා සඟරාවෙ පළවුණා "ටැංකි මාළුවාගේ දුක් ගීය" නමින්.

9 comments:

  1. සිරාවට මේ ලගදි මම බැංකුවට ගියාම ඒකේ ලස්සන මාළු හිරවෙලා... දැක්කම දුක හිතුන නොවැ..

    ReplyDelete
  2. මම මේ බැලුවේ අපේ ගෝල්ඩ් මාළුවා ගැනද කියලා තියෙන්නේ කියලා....අපේ පංසලේ ටැංකියේ හිටපු අඩි දෙකක් දිග තිලාපියා නැති උනා පිංකමක් දවසේ.....

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකටම තිලාපියා බැදල බයිට් එකට ගන්නැති...ඌට නිවන් සුව පතමු.

      Delete
  3. පුංචි මාළු ටැංකියේ කතාවෙන් පෙන්වාදෙන කතාව බොහෝම වැදගත්.

    ලස්සන කවි පන්තියකින් කවි පිටුව සරසපු ඔබට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  4. සුරතල් සතෙක් නැති එකට කන් කෙඳිරි ඉවරයක් නැහැ අපේ ගෙදර . මාළු ටැංකියක්වත් තියාගන්න අකමැති සත්තු හිරකරන්න මගේ ඇති අකමැත්ත නිසා .ස්තුතියි හරි පාළු වෙලා තිබ්බ බ්ලොග් එකට අරුත්බර කවිපෙලක් ගෙනාවට

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් ඔය කතන්දරේමයි බින්දි....

      ලස්සන කවියක්...

      Delete
  5. අනේ හරිම ලස්සනයි කවිය :)

    ReplyDelete
  6. මමත් පොඩි කාලේ ඉඳල ආසයි මාළු ටැංකියකට.ඒත් කවදාවත් ගෙදර මාළු ඇති කරලා නැහැ..

    ReplyDelete
  7. මමත් නම් සත්තු හිර කරගෙන ඉන්න කැමතිම නැහැ. අපේ බලු රාල ගෙදර නිදහසේ හැදෙන්නෙ. කවදාවත් කූඩුවක හිටියෙ නැහැ. ස්තූතියි මේ ලස්සන කවි පන්තියට හරි. කාලෙකින් මාත් ආවෙ. මේ ටිකේ මට අන්තර්ජාලය නැතිව කරදර. කලින් තිබ්බ එක මේ තැනට ආයෙත් ආවහම තාම දුන්නෙ නැහැ . කියන්නෙ නම් අධිවෙගී............. කියලයි. දැන් මාස දෙකක් උනා.

    ReplyDelete