හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Sunday, July 8, 2012

මද්දු ආත්තා





අද මම පුංචි දරු පැටවුන් වෙනුවෙන් ලියන්න හිතුවෙ, මම පුංචි කාලෙ මගේ ආත්තම්මා කෙනෙක් දීපු අවවාද කීපයක් ගැන.

ඒ ආත්තම්මගෙ නම දාඹුරේ ලියනගේ මැගිලින් . අපි එයාට කිව්වෙ 'මද්දු ආත්තා' කියලා. කසාද බැඳලා නැති නිසා හතර පෝයට සිල් අරගන්නත්, රට පුරාම තියෙන බන පිංකම්වලට සහභාගිවෙන්නත් මද්දු ආත්තට කාල වෙලාව තිබුනා. ඒ අතරතුර නොයෙකුත් කසාය වට්ටෝරු හොයාගෙන ඇවිත් අත්හදා බැලුවා. 


මද්දු ආත්තා අපේ ගෙදරත් නිතර ආවා ගියා. ඒ ආපු වෙලාවට එයා, ළමා වයසෙ හිටපු අපි කරන හැම දෙයක් දිහාම බොහොම විමසිල්ලෙන් බලාගෙන හිටියා. අපි කරන වැරදි බොහොම කරුණාවෙන් පෙන්වලා දීලා අවවාදත් දුන්නා. ඒ කාලෙ කිසිම චාරයක් නොතුබුනු අපේ ඇවතුම් පැවතුම් නිවැරදි කලේ මද්දු ආත්තා කියලා මට හිතෙනවා. ඒ දීපු අවවාද මම අදටත් පිළිපදින්න උත්සාහ කරනවා. මතක ඒවයින් කීපයක් මේ වගේ,

    -  කන්න බෙදා ගන්න ගියහම  තව කන්න කී දෙනෙක් ඉන්නවද කියලා හිතලා, ඒ අයටත් ඉතුරු කරලා බෙදාගන්න.
    -  පෙරේත කමට  කන්න බැරි තරම් බෙදාගෙන, කෑම ඉතුරු කරලා විසි කරන්න එපා.
    -  බත් කනකොට පිඟානෙ කොනින් කොනට, ටික ටික අනාගෙන කන්න. තැන් තැන්වලින් ගොඩවල් අනාගෙන කන්න එපා
    -  දකුණු අතේ පළවෙනි ඇඟිලි පුරුකට ඉහලින් ඉඳුල් ගෑවෙන්න බත් අනන්න එපා.
    -  බත් කටට දාගන්නකොට දිව අදින්න එපා
    -  බත් කන කොට තලු ගහන්න, සද්ද කරන්න එපා
    -  කටේ කෑම පුරවගෙන කතා කරන්න එපා
    -  පිඟාන හෝදනකොට දෙපැත්තම හෝදන්න.
    -  පිඟාන හෝදලා ඉඳුල් වතුර විසි කරනකොට ඒ ඉඳුල් ටිකත් සතෙකුට ආහාරයක් වේවා කියලා හිතන්න
    -  ඇවිදිනකොට අත පය විසි කරන්න එපා.
    -  අතු ගාන කොට කුණු ඉතුරු කරන්න එපා.
    -  පිට ගෙදරකට ගිහිල්ලා වාඩිවෙනකොට ගේ ඇතුළ පේන්න ඉඳ ගන්න එපා

මද්දු ආත්තා ගාල්ලෙ, මැද කීඹිය ගමේ දැනට අවුරුදු සීයකටත් වඩා ඉස්සර ඉපදිලා, ඉතාම ග්‍රාමීය පරිසරයක හැදුනු වැඩුනු කෙනෙක්. ඒ වගේම එතුමිය කිසිකෙනෙකුට කරදරයක් නොවෙන විදිහට, ආගම දහම විසින් හික්මවුනු ජීවිතයක් ගත කළා. ඒ විතරක් නෙමෙයි, ඒ හික්මීම ඊලඟ පරම්පරාවලටත් දෙන්න උත්සාහ කළා. අපේ හුඟක් වැඩිහිටියො එහෙමයි. පුංචි දරුවො වරදක් කරනකොට අවවාද කරලා නිවැරදි කරගන්න උත්සාහ කරනවා. ඒ අවවාද ගෞරවයෙන් පිළිඅරගෙන පිළිපදින වාසනාවන්ත දරුවෝ තමන්ගෙ වැරදි නිවැරදි කරගෙන කවදා හරි ශ්‍රේෂ්ඨයින් බවට පත් වෙනවා.

ඉතින් මට හිතුනා පහුගිය දවසක කුන්ඩසාලෙ හෝටල් පාසලේදි ඉගෙනගන්න ලැබුනු කෑම මේසයෙදි අනුගමනය කරන්න ඕන ආචාර ධර්ම ගැනත් ටිකක් ලිව්වොත් පුංචි දරුවන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා.

අපි ගෙදරදි නිතර හැඳි ගෑරුප්පු පාවිච්චි නොකළත් පිට තැනකදි සමහරවිට පිරිසක් එක්ක ආහාර ගන්නකොට එහෙම කරන්න වෙනවා. එහෙම වෙලාවක අනිත් අයට කරදරයක්, විහිලුවක්, පිළිකුලක්,  නොවෙන විදිහට හැසිරෙන එක වැදගත් නිසා මේ ටිකත් මතක තියා ගන්න එක හොඳයි.

    -  අත් පිස්නාව භාවිතය

        කෑම මේසයට වාඩි වෙලා ඉස්සෙල්ලාම කරන්න ඕනෑ මේසෙ උඩ නොයෙකුත් හැඩයට නවලා ලස්සනට තියලා තියෙන අත් පිස්නාව (නැප්කින් එක) සීරුවෙන් දිග ඇරලා ඔඩොක්කුවෙ එලා ගන්න එක. කෑම ගන්න අතරේ අවශ්‍ය වෙලාවට දෙතොල් පිසදා ගන්න ඒක පාවිච්චි කරන්න පුලුවන්. ඒත් අත පය, මූණ, හො‍ටු පිහිදාන්න පාවිච්චි කරන්න එපා.
       
        කෑම ගැනීම අවසානයෙදි අත් පිස්නාව සාමාන්‍ය විදිහට නවලා දකුණු පැත්තෙන් තියන්න. කෑම පිළිගැන්වීම වම් පසිනුත්, හිස් පිඟන් ඉවත් කිරීම දකුණු පසිනුත් සිදුවෙන නිසා, ඔබ ආහාර අරගෙන අවසන් බව එයින් හැඟවෙනවා.
  


    
-  ආහාර ගැනීම ආරම්භ කිරීම
        සාමාන්‍යයෙන් බටහිර කෑමක් වට කිහිපයකින් (කෝස්) සමන්විත වෙනවා. සෑම වටයකදීම සියල්ලන්ටම ආහාර පිළිගන්වනතෙක් බලා ඉඳලා, ආහාර ගැනීම එකවර ආරම්භ කලයුතුයි. කාගෙ හරි       ආරාධනයෙන් භෝජන සංග්‍රහයකට සහභාගි වෙනවා නම් ඔහු හෝ ඇය 
ආහාර ගැනීම පටන් ගන්නා තෙක් ඉවසගෙන ඉන්න එක සුදුසුයි.

    -  ආහාරගෙන අවසන් බව හැඟවීම

        පිළිගන්වන ආහාර සියල්ල කා දැමිය යුතුයයි නීතියක් නෑ. ප්‍රමාණවත් ආහාරයකට පස්සෙ හැඳි ගෑරුප්පු පිඟානෙ දකුනු පැත්තෙන් මිටවල් පිටතට තියෙන විදිහට තියන්න. (ඔරලෝසුවෙ 4. 20 වෙලාව දැක්වෙන විදිහට)  ඉඳුල් තැවරුනු හැඳි ගෑරුප්පු මේස රෙද්ද උඩ තියන්න එපා.

 

   
    -  හැඳි ගෑරුප්පු පාවිච්චිය
        මෙනුව අනුව පාවිච්චි කළ යුතු හැඳි ගෑරුප්පු අනු පිළිවෙලින් පිඟාන දෙපැත්තේ තියලා තියෙනවා. පිටතින්ම තියෙන හැන්දයි ගෑරුප්පුවයි අරගෙන වැඩේ පටන් ගන්න පුලුවන්. මාලු හා මස් ආහාරයට ගන්නා හැඳි ගෑරුප්පු, පිහියාවල හැඩයේ සහ ප්‍රමාණයේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.

වමතින් ගෑරුප්පුව අරගෙන, මස් මාලු වගේ ආහාර පිඟාන මත තද කරලා අල්ල ගෙන, දකුණතින් පිහිය අරගෙන කපාගන්න පුලුවන්. ඊට පස්සෙ පිහිය පැත්තකින් තියලා කපාගත්තු ආහාරය ගෑරුප්පුවෙන් අරගෙන කන්න ඕනෑ. ඇමෙරිකානු ක්‍රමයට ගෑරුප්පුව දකුණතට මාරු කර ගන්නත් පුලුවන්. කපා ගන්න අවශ්‍ය නැති බත් වගෙ ආහාර ගන්න හැන්ද පාවිච්චි කරන්න පුලුවන්. සුප්වලට වෙනමම බොකු‍ටු හැන්දක් තියෙනවා. සාමාන්‍ය හැන්දෙන් කනකොට හැන්දේ ඉදිරි තුඩ පැත්තෙනුත්, සුප් හැන්දේ පැත්තකිනුත් ආහාර ගන්න එක තමයි නිවැරදි.

අතුරුපස ගන්නා අඬු පඬු කට්ටලය පිඟානට ඉහලින් තියලා තියෙන්නේ. බටර් වගේ තැවරුමක් ඉස්සෙල්ලා තමන්ගෙ පිඟානට අරගෙන පස්සෙ පාංවල තවරාගන්න ඕනෑ.

හැඳි ගෑරුප්පු පාවිච්චිය ඉතාම සන්සුන්ව, නිහඬව කළයුතු බව කියන්න ඕන නෑනේ. ආහාර ගන්නා අතරතුර වැලමිට මේසය උඩ නොතබන්නත් වම් අත පාවිච්චි නොකරන වෙලාවට උකුල මත තබා ගන්නත් මතක තියාගන්න ඕනෑ. 




    -  බීම වර්ග පානය

        ශීත කළ පාන වර්ග පිළිගැන්වෙන්නේ උස න‍ටුවක් තියෙන වීදුරුවක. ඒ වගේ බීම වීදුරුවේ න‍ටුවෙන් අල්ලගෙන පානය කරන්න පුලුවන්. අනෙක් බීම වර්ග සාමාන්‍ය බීම වීදුරුවක පිළිගැන්වෙනවා.

බටහිර පන්නයට ආහාර ගන්න එක දස වදයක්නේ කියලත් පුංචි දරු පැටවුන්ට හිතෙන්න පුලුවන්. ඒ උනත් පිරිසක් ඉදිරියේ අපිට ගෙදරදී වගේ නිදහසේ කන්න බොන්න බෑනේ.  ඒ නිසා මේ වගේ ආචාර ධර්ම ගැන හිතලා හැසිරෙන්න වෙනවා.

12 comments:

  1. හ්ම්ම්.. වැදගත් පොස්ටුවක්!

    ReplyDelete
  2. ස්තුතියි දරුවෝ ...!

    ReplyDelete
  3. බොහෝම වැදගත් ලිපියක් ...

    මමනම් කොහේ ගියත් කන්නේ අතින් විතරයි ,ප්‍රදාන පෙලේ හෝටල් /විදේශිකයන් සමග උනත් මම කන්නේ අතින් විතරයි ....

    ReplyDelete
    Replies
    1. සිංහලකම අතාරින්න බෑම කියලා හිතෙන වෙලාවල් තියෙනවා තමයි ..!

      Delete
  4. හරිම වැදගත් ලිපියක් පොඩි අය වගේම ලොකු අයටත් මේ ආචාර විධි ඉගෙන ගන්න පුලුවනි.

    ReplyDelete
    Replies
    1. මගේ 'ගාමිණීගෙ විජිතය' බ්ලොග් එකේ තමයි මේක ඉස්සෙල්ලාම පෝස්ට් කළේ. පොඩි පැටවුන්ට ගැලපෙන විදිහට ටිකක් වෙනස් කරලා මේකට දැම්මේ.

      Delete
  5. හොඳ ලිපියක් . ලෝකය විශ්ව ගම්මානයක් වෙද්දී මේ දේවල් දැන ගත්ත කියල පාඩුවක් නැහැ . අපේ කෑම රස අතින් අනාගෙන කනකොට වුනත් අද කාලේ එලි පහලියේ කෑම වැඩි වෙලා නිසා පිරිසිඳුකමට වුනත් හොඳයි හැන්දක් ගැරෙප්පුවක් වවිච්චි කරන එක . බොහොම තැන්වල අත සෝදා ගැනීමට බාත් රූම් එකක්ම සොයන යන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පොඩි දරුවන්ට 'විශ්ව ගම්මාන' සංකල්පය අපටත් වැඩිය ඇඟට දැනෙයි. සමහර දේවල්වලදි අකමැත්තෙන් උනත් ඒ අය ඒකට සූදානම් කරන්න වෙනවා.

      Delete
  6. අදනේ දන්නේ බොලේ කොහේද ඉතින් තාම අතින් කන පොඩි කට්ටියනේ අපි. කොහොම වුණත් අතින් කනකොට තරම් ගැරොප්පුවෙන් කනකොට ගතියක් නෑ මගේ හිතේ. ඕක ගැන මාර්ටින් වික්‍රමසිංහ සූරීන් මරුවට වචන ගලපළා තියෙනවා මුදියන්සේ මාමා කෙටි කතාවේ මේ විදිහට. ටිකක් දිග වුණාට...
    "අනතුරුව කළුතර හාමිනේ පියදාසට ළංව මෙසේ කෙඳුරුවාය."උඹත් පලයන් අක්ක ලඟින වාඩි වෙලා නැන්දලා හැඳි ගෑරුප්පුවලින් කනවානම්, උඹත් හැඳි ගෑරුප්පු වලින් කන්න ඕනෑ. හැන්ද ගන්නේ දකුණු අතින්.ගෑරුප්පුව වමතින්. ඇහුණාද ?
    ........
    නිමල් හැඳි ගෑරුප්පු අතට ගනු බලා උන් පියදාසද හැඳි ගෑරුප්පු අතට ගත්තේය....
    නිමල් අනුගමනය කරමින් හැඳි ගෑරුප්පු හරඹයට බැස්ස පියදාස දෙස කළුතර හාමිනේ බැලුවේ ගර්වයෙනි.අනතුරුව ඈ සෙවිල්ලෙන් බැලුවේ පියදාස දෙසය. පියදාස කන්නේ දකුණු අතින් ගත් ගෑරුප්පුවද වමතින් ගත් හැන්දද ඇතිවය.
    ..................
    ඈ දිවගොස් පියදාසගේ දකුණු අතෙහි වූ ගෑරුප්පුවත් වමතෙහි වූ හැන්දත් උදුරාගෙන, "පුතාත් අතින් කන්න - අර අයියා කන්නේ අතින්"යි කීවාය.
    මම මේ බ්ලොග් එකේ ලියන්නෙක් වුණාට අද තමා පළවෙනි වතාවට කොමෙන්ට් එකක් හරි දැම්මේ.සමාවෙන්න ළඟදිම ලිපියක් ලියන්න ඉන්නේ.....
    ආ....... තව එකක්. මට හිතෙනවා මේ බ්ලොග් එකේ පෙනුම ටිකක් වෙනස් වෙන්න ඕනේ කියලා. පොඩි ළමයින්ට හින්දා ටිකක් වර්ණවත් සහ චිත්‍ර සහිත වීම අදාළයි කියා සිතේ.

    ReplyDelete
    Replies
    1. මාර්ටින් වික්‍රමසිංහ නම මතක් කළත් ඇඟට සනීපයි. කියවන කෙනාට තේරෙන්න වචන දහයක් ගලපාගන්න ඉගෙනගත්තේ එතුමාගෙ පොත් විසි තිස් වතාවක් කියවපු නිසා. ස්තුතියි අසංක පුතා ...!

      ඩීන් මල්ලිගෙනුත් අහලා හොඳ විදිහකට බ්ලොග් එක වෙනස් කරමු.

      Delete
  7. හැදි ගෑරුප්පු වලින් කනකොට මට බඩගින්න නිවෙන්නෙ නැහැ වගේ සීන් එකක් තියෙනවා.

    :ඩී

    ReplyDelete
    Replies
    1. නොකිව්වට මටත් එහෙම තමයි කොල්ලෝ ...!

      Delete