හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Monday, April 2, 2012

සුප් හැළියෙ වැටුණ මීයා







සුප් හැළියෙ වැටුණ මීයා




එකමත් එක කාලෙක වවුලෙකුයි වල් මීයෙකුයි යාලු වෙලා හිටියා. මේ දෙන්නා එකතු වෙලා දවස පුරාම දඩයමේ ගියා. හැන්දෑවෙ දඩයමේ ගිහින් සොයා ගත්ත කෑම එකට දෙන්නා එක්ක බෙදා ගෙන කෑවා. උඩින් යාලු බව පෙන්නුවාට වවුලා වල්මීයට හරිම අකමැතියි. එයා වල්මීයට හරියට වෛරත් කලා.


දවසක් හැන්දෑවේ මේ දෙන්නා එකට කෑම කකා ඉන්න කොට වල්මීයා වවුලා ගෙන් ඇහුවා ‘‘ නුඹේ සුප් එක හැම වෙලාවෙම මගේ එකට වඩා රස වෙන්නේ කොහොමද? ඒක හදන හැටි මටත් කියල දෙනවද? ”කියලා.


‘‘ මම ඒක හෙට පෙන්වන්නම් ‘‘ කියල වවුලා කීවා.


පහුවදා වවුලා පුරුදු විදිහට සුප් එක හැදුවා. ඒක හරිම රසයි. එයා හරිම හොඳ කෝකියෙක්.


වවුලා වල්මීයා ආවාම පෙන්නන්න අර සුප් භාජනය හංගලා ඒ වගේම උණු වතුර භාජනයක් ලෑස්ති කලා. ඔන්න ඉතින් වල්මීයා ඇවිත් “ ආයුබෝවන් යහළුවේ ඔයා මට සුප් එක හදන හැටි පෙන්නනව නේද’’ කියල ඇහුව.


“හොඳයි යහළුවේ මම හැමදාම සුප් හැළියට පනිනවා. මගේ මස් හරිම රසයි. ඒකෙන් සුප් එක වැඩියෙන් රස වෙනවා. ”කියල වතුර භාජනයට පැන්නා. ටික වෙලාවකින් එළියට ඇවිත් වල්මීයාට හොරෙන් භාජන දෙක මාරු කෙරුවා. ඊට පස්සේ සුපුරුදු විදිහට සුප් බොන්න දුන්නා.


සුප් එකේ රසය වැඩි කර ගන්න නම් ඔයා නටන සුප් එකට පනින්න ඕනේ ‘‘ කියල වල්මීයාට උපදෙස් දුන්නා.
වල්මීයාත් එහෙමම කරන්න හිතා ගත්තා. ඊලඟ දවසේ වල්මීයාම කෑම සූදානම් කලා. සුප් එක නටන කොට හාමිනේව එළියට යැව්වා. ඊට පස්සේ වවුලා කියාපු විදිහටම සුප් එකට පැන්නා.


අනේ! ඌ ඒකෙ තැම්බ්ලාම මැරුනා. හාමිනේ ආපහු එනකොට එයා මැරිලා. මේක වවුලාගේ වැඩක් තමයි කියල එයා දැනගෙන නඩුකාරයාට පැමිණිලි කලා. මෝඩ වල්මීයාව රවටපු එකට නඩුකාරයාට කේන්ති ගියා. එවෙලේම වවුලාව අත් අඩංගුවට ගන්න නියෝග කළා. හැමතැනම හෙව්වත් වවුලාව හොයාගන්න නම් බැරි උනා. එදා ඉඳල හැමදාම රෑට විතරක් එළියට එන වවුලා කෑම හොයාගෙන උදේට ආයෙත් හැංගෙනවා. කාටවත් නම් එයාව හොයා ගන්න නම් බැහැ. ඒක තමයි ඔන්න දවල්ට වවුලව අපට දකින්න බැරි රහස.

5 comments:

  1. ගොඩක් ස්තුතියි චන්දී අක්කට පුන්චිත්ත තනි නොකර ලස්සන කතාවක් තෑගී දුන්නට

    ReplyDelete
  2. අහ් අපි අදයි දැනගත්තේ.. :))

    ReplyDelete
  3. තවත් ජනකතාවක් පුංචිත්තාට තෑගි කළ චාන්දි අක්කාට බොහෝම ස්තුතියි. පිං.

    ReplyDelete
  4. මම නං ඕනේ තරං වවුල්ලු දැකලා තියෙනවා දවල්...

    ReplyDelete
  5. එකතමා වවුලා හොරා වගේ හැංගිලා ඉන්නේ.

    ReplyDelete