හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Sunday, May 27, 2012

ඇන්ටි රේබීස්

පුංචි දරු පැටව් වෙනුවෙන් මම 'පුංචිත්තා' ට  එක් කරන පළමු කතාව පූස් කතාවක්. කලින් ලියාපු කතා ගොන්නකින් මේ කතාව ‍තෝරා ගත්තේ පුංචි දරුවන්ට පූස් පැටියෙක් හරි, බලු පැටියෙක් හරි දැක්ක ගමන් උන්ව වඩාගෙන සුරතල් කරන්න තියෙන ආසාව මම දන්න නිසා. එහෙම කරන එකේ ලොකු අවදානමකුත් තියෙන නිසා, ඒ ගැන ලියන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.


පහුගිය දවස්වල අපේ මල්ලි කෙනෙකුට, දියවැඩියාව උග්‍ර වෙලා සුමාන දෙකක් ඉස්පිරිතාලෙ ඉන්න සිද්ද උනා. අසනීපෙට නිසි ප්‍රතිකාර ගත්තෙ නැති නිසා තමයි එයාට එහෙම උනේ. මමත් ඉතින් යුතුකමක් හැටියට එයාව බලන්න ඉස්පිරිතාලෙ ගියා. ඉස්පිරිතාලෙ වාට්‍ටුව ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ තියෙන්නෙ වොලිබෝල් කෝට් එකක්. ඒක අයිනෙ බයිසිකලේ නවත්වලා වාට්‍ටුවට යන්න හදනකොට තමයි අපි (මායි මල්ලිගෙ පුතයි) දැක්කෙ වොලිබෝල් කෝට් එක අයිනෙ මනුස්සයෙක් පිහිය කෑල්ලකුත් අරගෙන මොකද්ද ලොකු වැඩකට ලෑස්ති වෙනවා. අපිත් ඉතිං කිට්‍ටුවෙලා ඒ මොකද්ද කියලා බැලුවා.


ලංවෙලා බැලුවහම තමයි අපට පෙනුනේ එයා උත්සාහ කරලා තියෙන්නෙ වොලිබෝල් කෝට් එක වටේ තියෙන දැලේ පැටලිලා ඉන්න ලොකු පූසෙක් බේරලා යවන්න කියලා. පූසගෙ අඬු හතර ඒ වෙනකොට හොල්ලන්න බැරි වෙන්න පැටලිලා ඌ මර බයේ බෙරිහන් දෙනවා. අපි දෙන්නටත් ඉතින් සත්ව කරුණාව පහල වෙලා අර මනුස්සයාට උදව් කරලා නෙට් එක කපලා පූසා එලියට ගත්තා.


නෙට් එකෙන් එලියට ගත්තත් පූසා තවමත් කැපුනු නෙට් කෑල්ලේ පටලැවිලා, හොඳටම බයවෙලා හිටියේ. අත පය හොල්ලන්න බැරි උනත් කිට්‍ටු වෙනකොට කන්න පනිනවා යකෙක් වගේ.


මගේ අත්දැකීම තමයි එහෙම වෙලාවට කරන්න ඕනෑ සතාගෙ ඇස් දෙක වහන එක. අවට පේන කොට තමයි වල් සත්තු එහෙම වෙලාවට කලබල වෙන්නේ. හොඳම දේ තමයි රෙද්දක් දාලා ඔලුව වහන එක. එතකොට උන් නිශ්චල වෙනවා.


කොහොම උනත් ඒ වෙලාවෙ අපිට රෙදිකෑල්ලක් හොයා ගන්න බැරි උනා. ලඟ තිබුනු පොලිතීන් බෑග් එකකින් මූණ වහලා දැල් කෑල්ල කපන්න උත්සාහ කරද්දි පූසා එකපාරටම පැනලා මගෙ ඇඟිල්ලක එල්ලුනා. ඉඳික‍ටු වගේ උගෙ දත්වලට තුවාලවෙලා ඇඟිල්ලෙන් ලේ විදින්න පටන් ගත්තා.


කොහොම හරි පස්සෙ වාට්‍ටුවෙ හිටපු මනුස්සයෙක් දීපු තුවායක් පූසගෙ ඔලුවට දාලා දැල් කෑල්ල කපලා නිදහස් කරලා ඇරියා.


ඉතින් මම මේ ටික ලිව්වෙ අපි වැඩිය සැලකිල්ලක් නොදක්වන  වැදගත් කාරණාවකට එන්න පූර්විකාවක් හැටියට. මේ වගෙ ක්ෂීරපායී සතෙක් කෑවහම තියෙන ලොකුම අවදානම තමයි ජලභීතිකා රෝගය හැදෙන්න තියෙන හැකියාව. 'පිස්සු බලු රෝගය' කියලා සාමාන්‍යයෙන් හඳුන්වන නිසා වැඩිදෙනෙක් හිතනවා මේක බල්ලන්ගෙන් විතරයි බෝවෙන්නෙ කියලා. ඒත් කිරි බීලා හැදෙන ඕනෑම සතෙකුගෙන් මේ රෝගය අපිට බෝ වෙන්න පුලුවන්.


ජලභීතිකාව කෙනෙකුට හැදෙන්න පුලුවන් භයානකම රෝගයක් බව ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වෛරසය ආසාදනය වෙලා රෝග ලක්ෂණ මතුවෙන්න දින 10 සිට අවුරුදු 7 ක් දක්වා කාලයක් ගතවෙන්න පුලුවන්ලු. මොළය ඉදිමිලා රෝගියාගෙ මධ්‍ය ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වෙලා තමයි මරණයට පත්වෙන්නෙ. ලංකාවෙ අවුරුද්දකට සියයකට ආසන්න පිරිසක් මේ රෝගයෙන් මැරෙන බව වාර්තා වෙලා තියෙනවා. කොළඹ නාලන්දාවෙ අවුරුදු හතක විතර පුංචි දරු පැටියෙක් මේ ලඟදි ජලභීතිකාව වැලඳිලා මෙලොව හැර ගිය බව පත්තරේ තිබුනා ඔයාලට මතක ඇති.


සතෙක් කෑවට පස්සෙ රෝගය වලක්වගන්න තියෙන එකම ක්‍රමය තමයි ජලභීතිකා රෝගයට ප්‍රති එන්නත (Anti-Rabies Vaccine) ගන්න එක. සාමාන්‍යයෙන් පිටගැස්ම වලක්වන එන්නතත් (Anti-Tetanus) ඒ වෙලාවට දෙනවා.


මම ඉතින් පූසා කාපු එකට බෙහෙතක් විදගන්න දොම්පෙ ඉස්පිරිතාලෙට ගියහම එතන හිටපු නර්ස් නෝනා කිව්වා 'ඔයාට ඇන්ටි රේබීස් එක ගන්න ගම්පහට යන්න වෙනවා ...' කියලා. මිල අධික නිසා සාමාන්‍යයෙන් ඒ එන්නත තියෙන්නෙ  මහ රෝහල්වල විතරයි. ගම්පහ යන්න කරදර නිසා පෞද්ගලික තැනකින් පිටගැස්ම එන්නත විදගෙන ආපහු මම වැඩ කරන ගිරිතලේට ඇවිත් දවසකට පස්සේ පොලොන්නරුව රෝහලට ගියා බෙහෙත විදගන්න.


ඕපීඩී එක හරහා විස්සෙ වා‍ටුවට ගියහම  දොස්තර නෝනා පූසා කාපු ඇඟිල්ල බලලා මගෙන් ඉස්සෙල්ලාම ඇහුවෙ කවද්ද කෑවෙ කියලා. කාපු දවස කිව්වහම 'සතෙක් කෑවහම පැය 72 ක් ඇතුලත බෙහෙත විදින්න ඕන බව දන්නෙ නැද්ද?' කියලා දොස්තර නෝනා අහක බලාගෙනම ඇහුවා. මම ඇත්තටම ඒක දැනගෙන  හිටියෙ නෑ. ජලභීතිකා වයිරසය ක්‍රියාකාරී වෙන්න කලින් එන්නත ගන්න එක වැදගත්.


දොස්තර නෝනා ලියා දීපු තුන්ඩුව අරගෙන ඊලඟට වාට්‍ටුවෙ නර්ස් නෝනා ප්‍රශ්ණ අහන්න පටන් ගත්තා. ' සරමක් ගෙනාවද ..?' මම මෝඩ හිනාවක් දාලා ' නෑ .. ' කිව්වා.


'කකුල්වලටත් විදින්න තියෙනවා, කාට හරි කියලා සරමක් ගෙන්න ගන්න .. ' උන්දෑ කියාපි.


'මම එලියට ගිහිල්ලා සරමක් ගේන්නම් ..' කියලා මම යන්න හදනකොට ඊලඟට කියනවා 'ඔයාව දැන් වාට්‍ටුවට ඇතුල් කරගෙන තියෙන්නෙ .. එලියට යන්න දෙන්න බෑ .. හෑන්ඩ් ෆෝන් එකෙන් කතා කරලා කියන්න .. ' කියලා.


මම ජීවිතේට හෑන්ඩ් ෆෝන් එකක් ලඟ තියාගෙන පාවිච්චි කරලා නැති බව එයා දන්නෙ නෑනෙ. ඉතින් දෙවෙනි මෝඩ හිනාවත් දාලා මම කිව්වා 'හෑන්ඩ්  ෆෝන් එකක් නෑනෙ .. ' කියලා. එතන හිටපු නර්ස් නෝනලා තුන් හතර දෙනාම හිඟන්නෙක් දිහා බලන විදිහට මගෙ දිහා බලාගෙන ඉන්නකොට එක නෝනෙක් මට එයාගෙ ෆෝන් එක දික්කළා. මමත් ඉතින් කෘතඥතා පූර්වක හිනාවක් දාලා ඒක අරගෙන කෝල් එකක් දාලා යාලුවෙකුට කියලා සරමක් ගෙන්න ගත්තා.


ඊලඟට මගෙ බර කිරලා, යාලුවා ගෙනාපු සරම ඇඳ ගත්තට පස්සෙ පළවෙනි බෙහෙත විදින්න යැව්වා. මට තේරුන විදිහට ඒක ඇන්ටි රේබීස්වලට මම අසාත්මිකද කියලා බලන්න විදින එකක්.  'බෙහෙත විදලා හුස්ම ගන්න අමාරුවක්, කැසිල්ලක් දැනුනොත් කියන්න ඕනෑ .. එහෙම උනොත් අපි ඔයාව අයිසීයූ එකට දාලා විදින්නේ ..' නර්ස් නෝනා අනතුරු ඇ‍ඟෙව්වා.


පළවෙනි එන්නත අවුලක් උනේ නැති නිසා ලොකු එන්නත විදින්න ඊලඟට තව දොස්තර නෝනා කෙනෙක් ලඟට යැව්වා. 'බර කිලෝ 98 ක් නේද ..' මගෙ ඇඟේ බරට එන්නතේ ඩෝස් එක හදන ගමන් නෝනා අහනවා.


'ඔව් ටිකක් බර වැඩියි ..'


'මොකක් ..?'


'බර හුඟක් වැඩියි තමයි ..'


'හ්ම්ම් .. මට ඇහුනෙ ටිකක් වැඩියි කියනවා වගේ ..' නෝනා මගෙ මූණවත් බැලුව නෑ.


ඉස්සෙල්ලාම විද්දෙ පූසා කාපු ඇඟිල්ලට.


ඇටෙන්ඩන්ට් කෙනෙක්ගෙ උදව්වෙන් දොස්තර නෝනා සිරින්ජයේ තිබුනු ඉතුරු බෙහෙත් ටික කකුල් දෙකට විද්දා. බෙහෙත් විදින කොට ටිකක් රිදුනට ජලභීතිකාව හදාගෙන මැරෙන්නෙ මොකටද කියලා හිතලා මම ඉවසගෙන හිටියා. 


ඊට පස්සෙ ඕපීඩී එකට යවලා තවත් එන්නතක් අත්දෙකටම ගස්සලා, පැය තුනක් විතර තියාගෙන ඉඳලා,  'අද නාන්න එපා .. කඩ කෑම කන්න එපා .. අරක්කු සිගරට් බොන්න එපා ...' වගේ අවවාද ‍රැසක් කරලා තමයි මාව වාට්‍ටුවෙන් එලියට දැම්මේ.


ඉතින් මම මේ සේරම ලිව්වේ අපි වැඩිය ගණං නොගන්න පුංචි සත්තු  උනත් සපාකෑම ලොකු තර්ජනයක් වෙන්න පුලුවන් බව මේක කියවන දරු පැටවුන්ට මතක් කරන්න. ගෙවල්වල හදන බල්ලො, බළල්ලු අනිවාර්යයෙන්ම එන්නත් කරවා ගන්න ඕනෑ. නොදන්න සතෙක් කෑවොත් කොච්චර කරදරයක් උනත් අපි නියමිත කාලය ඇතුලත ජල භීතිකා ප්‍රති එන්නත ගන්න ඕනෑ. රෝහලෙන් දීපු කාඩ් එකේ හැටියට පලමු එන්නතෙන් පස්සෙ දින 3 කින්, 7 කින්, 30 කින් තව එන්නත් 3 ක් ගන්න ඕනෑ. 


ජල භීතිකාව ආසාදනයවුනු සතෙක් අනිවාර්යයෙන්ම දින 10 ක් ඇතුලත මැරෙනවලු. එහෙම සතෙක්ගෙ ඔලුව බො‍රැල්ලෙ වෛද්‍ය පර්යේෂණායතනය -  MRI (Medical Research Institute) එකට ගෙනිහිල්ලා රෝගය ආසාදනය වෙලා ද කියලා තහවුරු කරගන්න පුලුවන්.


මට දීපු කාඩ් එකේ තියෙන අවවාද ටිකත් ලියලාම ඉවර කරන්නම්. මේක කියවන හැම දරුවෙක්ම මේ ටික හොඳින් තේරුම් අරගෙන, සුරතල් සතුන් හදා ගන්නකොට ප්‍රවේශම් වෙන්න ඕනෑ.


    -  නොදන්නා සුනඛයෙකු අතපත ගෑමෙන් වලකින්න
     -  බලු පැටවුන් වඩා ගැනීමේදී බල්ලාගේ මුඛය මුහුණට ළං නොකරන්න
    -  විශ්වාස තැනක විධිමත් ලෙස ඇති කරන බැල්ලියකගේ පැටව් පමණක් ඇති කිරීම සඳහා ගන්න
    -  නොදන්නා පැටවකු ඇති කිරීමේදී එන්නත් ලබා දී මාසයක් වෙන් කර තබන්න
    -  සපා කන බල්ලන් ඇති කරන නිවෙස්වල 'බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න' දැන්වීම ප්‍රදර්ශණය කරන්න
    -  සපා කන බල්ලන්ට කට කලියාවක් දමන්න
    -  සති පහකට වැඩි බල්ලන්ට වාර්ෂිකව එන්නත ලබා දෙන්න
    -  බල්ලන් ‍රැලේ යන මද කාලයට සතුන් වෙන් කර තබන්න
    -  අනවශ්‍ය පැටවුන් බෝ වීම වලක්වා ගැනීමට පශු වෛද්‍ය උපදෙස් ගන්න
    -  සැක සහිත බල්ලෙකු හෝ වෙනත් සතෙකු සපා කෑ විට
        -  තුවාලය සබන් ගා ගලා යන ජලයෙන් විනාඩි 10 ක් සෝදා හරින්න
        -  සපා කෑ සතාගේ හිස වහාම බො‍රැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට ගෙන ගොස් වාර්තාවක් ලබා ගන්න.


බෙහෙත් ගන්න එන මම වගේ නාකි ලෙඩ්ඩු හුරතල් නොකළට, පොලොන්නරුවෙ රෝහලේ වෛද්‍ය, හෙද හෙදි නැන්දලා, මාමලා ඉතාම කාරුණිකව ලෙඩ්ඩුන්ට සලකන බවත් ලියලා තියන්නම ඕනෑ.

10 comments:

  1. ඉතාම වටින ලිපියක්. තවමත් අපේ මිනිස්සු ඔය අවධානම ගැන තැකිමක් කරනවා අඩුයි

    ReplyDelete
  2. මෙච්චර අවදානම් ද.ගොඩාක් ස්තුතියි.

    ReplyDelete
  3. අපි බොහෝවිට නොසලකා හරින අවදානම් තත්වයක් ගැන බොහෝම රසවත්ව හා සරළව කරුණු ඉදිරිපත් කරන ලිපියක් තෑගි කරමින් පුංචිත්තා හා එක් වෙන ගාමිණී මාමා පුංචිත්තා වෙනුවෙන් මා සාදරයෙන් පිළිගන්නවා.

    හරබර විස්තර අඩංගු දුර්ලබ ලිපි එකතුවක් ගාමිණී මාමාගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවනි.

    ReplyDelete
  4. බොහොම ස්තුතියි . මන් මේක කලින් කියවල තිබුන. පොඩි ළමයින්ට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි . අපේ ලොකු දුටත් බල්ලෙක් පුසෙක් දැක්කොත් මෙලෝ සිහියක් නැහැ .

    ReplyDelete
  5. නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තියානොගන්න එක තමා හොද...
    කාලොචිත ලිපියක් පලකිරීම ගැන ප්‍රණාමය.....

    ReplyDelete
  6. අදහස් දැක්වූ හැමෝටමත්, පුංචිත්තාට ලියන්න ඉඩ හදාදුන් ඩීන් මහත්මයාටත් (ගල්මල් ලියන) ඉතාමත්ම ස්තුතියි ..!

    ReplyDelete
  7. බොහොම ස්තූතියි. හරිම වටින ලිපියක්.පුංචි අයට වගේම අපටත් හරිම වැදගත් විස්තර දැනගත්තා. පුංචිත්තා සරසන්න ආවටත් ගොඩාක් ස්තූතියි!

    ReplyDelete
  8. ආ ඔය ඇවිත් ඉන්නෙ පුංචිත්තා බලන්න.

    henryblogwalker the Dude

    ReplyDelete
  9. වටිනා ලිපියක්. දරුවන් ඉන්න හැමදෙනෙක්ම කියවිය යුතුම ලිපියක්. මේක මම කලින් ගාමිණී අයියගේ බ්ලොග් එකෙනුත් කියෙව්වා. දරුවන්ටත් බලන්න මෙතැන දාපු එක වටිනවා. පුංචිත්තට සුබපැතුම්!

    ReplyDelete
  10. චන්දි, හෙන්රි මචං, දිල්ශාන් ... කොමෙන්ට්වලට ස්තුතියි.

    ReplyDelete