හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Sunday, June 23, 2013

සරභමිග ජාතකය


ඉස්සර කාලෙ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා දඩයමට බොහොම කැමතියි. දවසක් පිරිවර සමඟ රජතුමා දඩයමේ ගියා. රජ්ජුරුවෝ මුවෙකුට විද්දා. ඒ වෙලාවේ මුවා පැනලා ගියා. රජතුමාගේ පිරිවර සේනාව රජතුමාට ඔච්චම් කළා. රජතුමාට ලැජ්ජා හිතුනා. ආයෙත් මුවා අල්ලා ගන්න මුවා පසුපසම එළවාගෙන ගියා. රජතුමා පිරිසෙන් මගහැරුනා. මේ දුවන අතරේ රජතුමාව මහා වලකට ඇද වැටුනා. ටික දුරක් ගිහින් මුවා හැරිලා බැලුවා. රජතුමා පේන්න නෑ. ආපසු හැරිලා තමන්ගේ කට්ටිය ඉන්නා පැත්තට එන්න හිතා ගත්තා. මේ එන අතරේ කෙඳිරිලි හඬක් ඇසුනා. රජතුමා වලේ වැටී සිටිනා බව දැක්කා.

  මුවා එතනට පැමිණ මෙහෙම හිතුවා. "මා මරන්න එළවාගෙන ආවත් රජතුමා දැන් අනතුරක වැටිලා ඉන්නෙ. ඒ නිසා මම මඟහැර යන එක සුදුසු නෑ. මම රජතුමාට උදව් විය යුතුයි" . 

"රජතුමනි, බිය වෙන්න එපා. මම ඔබතුමාව බේරා ගන්නම්. මා වලට පැන්න පසුව, ඔබ , මගේ පිට උඩට නඟින්න" කියලා මුවා වලට පැන්නා. 

රජුට පිට දුන් පසු රජතුමා එහි නැඟලා වලෙන් ගොඩට ආවා.

උඩට ආව මුවා වෙහෙස වෙලා හිටිය රජතුමාව පිට උඩ තියාගෙන පිරිස ළඟට ගෙනැවිත් බැස්සුවා. රජතුමා පිරිසත් සමඟ  රාජ මාළිගයට ගියා. එදා පටන් රජතුමා ඒ රටේ මුව දඩයම තහනම් කළා. අනෙක් සතුන්ටත් අභයදානය ලැබුනා. 

රජතුමා නිර්මාංශ වෙලා යහපත් ලෙස රාජ්‍ය පාලනය කළා.  දවසක් රජතුමා ලඟටම ආව මුවෙකුට රජතුමා විද්දේ නෑ. ඒ ගැන පුරෝහිත බමුණා ඇසුවා. ඒ වෙලාවේ තමා වතුර වලෙන් ගොඩ ගත් මුවා ගැන රජතුමා කීවා. මට ඒ උපකාර කල මුවා නිසා මුවන්ට විදින්න හොඳ නැති බව පැවසුවා. රජතුමා අන් අයටත් කළගුණ සැලකීමේ අගය ගැන කියා දුන්නා. රජතුමාගේ හොඳ ගතිගුණ නිසා ඒ රටේ වැසියන් හොඳ ගතිගුණ පුරුදු උනා. රට සමුර්ධිමත් වුණා. 


ඔන්න , දුවේ පුතේ අද පොසොන් පෝය දිනයේ නැන්දා පුතාලට කියා දුන්නෙ, අපිට කෙනෙක් කරදරයක් කලත්, අපි ඒ අයව විපතට දමන්න හොඳ නෑ. කවුරු හරි අපට උපකාරයක් කලාම අපි ඒක අමතක කරන්න හොඳ නෑ. ඒ අය කරදරයක වැටුනාම අපිත් ඒ අයට,  උපකාර කරන්නට ඕනෑ. එතකොට අපි හැමදෙනාම ගුණවත් කම් පුරුදු කරනවා. නරක අයත් හොඳ අතට හැරෙනවා. බලන්නකො මුවා නිසා මුළු රටම හොඳ උනා නෙ.

5 comments:

  1. ඊයේ රෑ අපේ දෙන්නට මේ කතාව කියා දුන්න .

    ReplyDelete
    Replies
    1. @Bindi;
      සතුටුයි නංගි, දරුවන්ට මේ ජාතක කතා වලින් ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා. අපිට නිතරම මේවා ඇහුනත් අද දරුවන්ට මේවා කියා දෙන්න කෙනෙක් නෑ.

      Delete
  2. සරභමිග ජාතකය මම කියෙවුවෙ අද.මේ පැත්තට ආව පළමු දවස අද.ආයෙ හැමදාම එනව.

    ReplyDelete
  3. මම මගෙ පුතාට දැන් මේ ජාතක කතා හැමදාම කියලා දෙනවා. එයත් මතක් කරලා මගෙන් හැමදාම අහගන්නවා. ඉතාම ප්‍රසංසනීයයි. මෙවැනි දෑ කෙරුමට තවත් ශක්තිය දිරිය ලැබේවා ������

    ReplyDelete
  4. ගොඩක් වටිනවා...

    ReplyDelete