හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Saturday, January 14, 2012

සාගර දූපතෙන් මුහුදු ගිය ධීවර පුත්‍රයාගේ කතාව




ඔන්න එකෝමත් එක කාලෙක කතාවක් කියන්නයි යන්නේ.දැනට අවුරුදු සියක් කාලෙකට එහා පුංචි සාගර දූපතක හිටියා මහලු ධීවරයෙක් . දන්න කියන කාලෙක ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට පුරුද්දෙන් මුහුදු ගිහින් මාලු මරන් ගොඩට ඇවිදින් විකුණලා කීයක් හරි යොයාගන්න එක තමයි එයාගේ රස්සාව.ඔය සාගර දූපතේ හිටි කොයි කාගෙත් කතාව ඔහොමයි .මුහුදු ගිහින් උපය ගන්න දේකින් එදා වේල ගැටගහගෙන චාමෙට ජීවත්වෙනවා .

අපේ මේ ධීවරයට හිටියා තරුණ පුතෙක් .පුරුද්දෙන් පරම්පරාවෙන් තාත්තගේ රස්සාව කලාට මොකෝ එයාට නම් සාගර දූපතේ තනිවෙලා ඉන්න ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ .තාත්තත් දැනගෙන හිටියා පුතණ්ඩියා දූපතට කොටු වෙලා ඉන්න වැඩි මනාපයක් නැතිවග . ඔන්න ඉතින් තාත්ත හිතූ විදියටම එක දවසක පුතා මේ සාගර දූපත අතෑරලා එයාගේ වාසනාව සොයාගෙන , අලුත් ලෝකෙකට යන්න ඕනෙ කියලා  තීරණය කලා .වයසක තාත්තා පුතාගේ අදහසට බාධා කලේ නෑ. ඔය තීරණේ ගත්තු දා ඉඳන් දෙමාසයක් යනකන් පුතා ගමනට සූදානම් වුණා . ඉස්සෙල්ලම හොඳ පුංචි රුවල් ඔරුවක් හදාගත්තා . සාගරේ තරණය කරගෙන දේශ දීපංකරේ යන්න නේ කල්පනාව .ඊලඟට දෙතුන් මාසෙකට උවමනා  කෑම බීම ඩිංගකුත් පුලුවන් විදියට සොයාගෙන ඔරුවේ ගබඩා කලා .


අන්තිමටම ගමන පිටත්වෙන දවස ආවා .ඒ කියන්නේ පුතා තාත්තගෙන් සමු අරගෙන එයාගේ අලුත් ලෝකෙ හොයාගෙන යන  දවස .දරුවෙක් මෙහෙම ඉරණම් ගමනක් යනකොට හැම තාත්තෙකුටම ලොකු දුකක් ,බයක් දැනෙනවනේ .ඒ වගෙම තමයි දරුවන්ටත් නොපෙන්නුවට දුකයි.ඒත් තාත්තල දාල යන්න වෙනවා .ඒක ලෝක සොබාවෙ කියලා හිතලා මේ තාත්තයි පුතයි තමන් හැමදාම මුහුදු ගිය සාගර දූපතේ පුංචි වරායට ගියා සමුගන්න අන්තිම වතාවට. එදාවෙල හරි හම්බ කරගත්තු තාත්තට පුතාවෙනුවෙන් දෙන්න සල්ලි බාගේ ,වස්තුව තිබුණේ නෑ .පුතත් දැනගෙන හිටියා තාත්ත සල්ලිකාරයෙක් නොවෙන වග .ඒ නිසා මහලොකු යමක් තාත්තගෙන් බලාපොරොත්තු නොවුනත්, ගමනට එයාගේ ආශිර්වාදය බලාපොරොත්තු වුණා. ඔන්න ඉතින් සේරම ලෑස්තිකරලා රුවල් ඔරුව දියත්කරන්න යද්දී පුතාව වැලඳගෙන සුබ පැතුව තාත්තා එයාගේ අතට ලොකු තල්මහෙක්ගේ මාලු කටු තුනක් දීලා කිව්ව "මේවා පරිස්සමින් තියාගන්න , නැතිකරගන්න එපා ,ජීවිතේ හැමදාම ඕනෙ වේවි .අමතක කරන්න එපා"කියලා .


"හ්ම්.... තල්මහෙක්ගේ කටු කෑලි ලින්  මොනව කරන්නද?" කියලා හිත හිතා අර ඉලංදාරියා ධීවරයගේ මූණ බැලුවා ප්‍රශ්නාර්ථෙකුත් එක්ක . පුතාව තේරුම ගත්ත තාත්තා ඒයින් එකක් අරන් මෙහෙම කිවා .

"පුතේ මේක නුඹේ හකු කටුව -Jaw Bone  හා සමානයි . නැතිකරගන්න එපා .මතක තියාගන්න  කොයි දේස දීපංකරේ ගියත් කවදා හරි දවසක සත්‍ය කතා කරන්න , හොඳ වචන කතා කරන්න මේ හකු කටුව නුඹට උදවු වේවි කියලා" .

ඉතින් පුතා අහනවා "එතකොට තාත්තේ මේ අනික් ඇට කටු ?"

තව මාලු ඇට කෑල්ලක් අතට ගත්තු ධීවරයා කියනවා "මේක නුඹේ කොඳු ඇටය -Back Bone හා සමානයි .මතක මතක තියාගන්න  මේ කොඳු කටුව තියෙනතාක් කල් නුඹට අයුක්තිය , අසාධාරණේ , ඉස්සරහ නැවෙන්න ඕනෙ වෙන්නේ නෑ.හැබැයි යුක්තිය , නිවැරදි දේ වෙනුවෙන් හිස නවන් ,එකඟ වෙන් .තමන්ගේ නිවැරදි මතය වෙනුවෙන් බය නැතුව නැගී හිටින්න  "කියලා .


ඒ අවවාදයත් හිස් මුදුනෙන් පිලිගන්න පුතා අහනවා අන්තිම මාලු ඇට කෑල්ල පෙන්නලා "තාත්තේ එතකොට මේ මොකද්ද "?කියලා .

"මේ නුඹේ පැතුම් කටුව- Wish Bone . මොන තරම් අසරණ වුනත් , වස්තු සම්පත් ,යාලුවො නැති වුනත් ,ජීවිතේ එපා වෙන තැනට ආවත් මේ පැතුම් කටුව අතාරින්න නම් එපා .ප්‍රාර්ථනා , බලාපොරොත්තු තමයි යම් දවසක නුඹව අලුත් ලෝකෙකට ගෙනියන්නේ "කියලා .

ඉතින් ඔය කටු තුන පිලිගත්තු පුතා සාගර දූපතෙන් තාත්තට සමුදීලා සතුටින් නික්ම ගියා කියල තමයි කියන්නේ .

මම හිතනවා මේ කතාවෙන් දෙන ආදර්ශය හොඳ පුරවැසියන් හැටියට  දරුවන්ගේ ජීවිත හැඩගස්වාගන්න උදවු වේවි කියලා . මොනතරම් බාධක , වැටීම් , කරදර ආවත් ජීවිතේ බලාපොරොත්තු ,ප්‍රාර්ථනා නැති කරගන්න එපා කියන එක(Wish Bone ) හරි ලස්සන අදහසක් .මේ කතාව මට කියලා දුන්නේ කාලෙකට  කලින් මගේ ශිෂ්‍ය උපදේශක වරයෙක් විදියට හිටි ගුරුතුමෙක් 

Tuesday, January 10, 2012

නොමැරෙන මිනිස්කම!

ඔන්න දුවේ පුතේ අදත් නැන්ද ඔයාලට කියන්න යන්නෙ අප්රිකාවෙ කතාවක් තමයි. ඔන්න එක දඩයක් කාරයෙක් හිටිය . එයා දවසක් කැලයට ගියා දඩයම් කරන්න. උනාට ආපහු නම් ගෙදර ආවෙ නෑ. ගෙදර අය බලාගෙන හිටිය එයා ආපසු එනකල්. කාලයක් ගෙවිල ගියාට මේ දඩයක් කාරයා ආවේ නෑ. හැමෝම එයා ආපසු එන්නෙ නෑ කියල අත්හැරල දැම්මා. මතක් කලේම නෑ. උනාට බාලම පුතා හැම තිස්සේම එයාව මතක් කරමින් දුක් උනා. හැම වෙලාවෙම කෝ ! මගේ තාත්තා කියමින් හැමටම කරදර කලා එයාව හොයන්න.

දවසක් ලොකු අයියලා ගෙදරින් පිටත් උනා මේ තාත්තාව හොයන්න. හැමෝම විජ්ජා කාරයෝ. එයාල ඇවිදගෙන යත්දි ඔන්න ඉතින් තාත්තාගෙ ඇට කටු ටික හම්බ උනා. අය ඒව එකතු කරගෙන ගෙදරට ආව. ඇවිත් එයාල මොකද? දන්නවාද කලේ. ඇටකටු ටික එකතු කරල තාත්තාගෙ ඇට සැකිල්ල හැදුවා. මේ ටික කලේ ලොකුම පුතා. ඊළඟට දෙවෙනි පුතා එකතුවෙලා එයාට හම හා මස් ටික මැව්වා. ඊට පස්සෙ තුන්වෙනි පුතා එයාට හුස්ම ටික දුන්නා.

කොහොමද මෙහෙම පන දෙන්නෙ නේද? අය විජ්ජා කාරයො නේ , ඒකයි. ඔන්න ඉතින් දඩයක් කාරයා දැන් නැගිට්ටා. එයා ගම වටේම ගිහින් හරිම සතුටින් හිටියා. දැන් එයා කියනවා මාව පන ගත්ත කෙනාට මම වටිනාම තෑග්ගක් දෙනවා කියලා. පුතාල හැමෝම එකතුවෙලා අනේ!තාත්තෙ, තෑග්ග මට දෙන්න කිය ,කියා තෑග්ග ඉල්ලුවා. උනාට, මේ තාත්තා තෑග්ග දෙන්න තීරණය කලේ බාලම පුතාටයි. මොකද එයා තමයි තාත්තාව අමතක කලේ නැත්තෙ. එයා හැම වෙලාවෙම අනෙක් අයට කරදර කලා තාත්තාව හොයන්න යන්න.

මිනිහෙක් කවදාවත් මැරෙන්නෙ නෑ එයාව අමතක කරන කල් කියල තාත්තා අවවාදයක් පුතාලට දුන්නා. ඉතින් දුවල පුතාලත් කවදාවත් තමන්ගෙ දෙමාපියන්ව අමතක කරන්න හොඳ නෑ හොදේ.