හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Thursday, June 27, 2013

පුංචිත්තා: සරභමිග ජාතකය

පුංචිත්තා: සරභමිග ජාතකය: ඉස්සර කාලෙ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා දඩයමට බොහොම කැමතියි. දවසක් පිරිවර සමඟ රජතුමා දඩයමේ ගියා. රජ්ජුරුවෝ මුව...

Sunday, June 23, 2013

සරභමිග ජාතකය


ඉස්සර කාලෙ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා දඩයමට බොහොම කැමතියි. දවසක් පිරිවර සමඟ රජතුමා දඩයමේ ගියා. රජ්ජුරුවෝ මුවෙකුට විද්දා. ඒ වෙලාවේ මුවා පැනලා ගියා. රජතුමාගේ පිරිවර සේනාව රජතුමාට ඔච්චම් කළා. රජතුමාට ලැජ්ජා හිතුනා. ආයෙත් මුවා අල්ලා ගන්න මුවා පසුපසම එළවාගෙන ගියා. රජතුමා පිරිසෙන් මගහැරුනා. මේ දුවන අතරේ රජතුමාව මහා වලකට ඇද වැටුනා. ටික දුරක් ගිහින් මුවා හැරිලා බැලුවා. රජතුමා පේන්න නෑ. ආපසු හැරිලා තමන්ගේ කට්ටිය ඉන්නා පැත්තට එන්න හිතා ගත්තා. මේ එන අතරේ කෙඳිරිලි හඬක් ඇසුනා. රජතුමා වලේ වැටී සිටිනා බව දැක්කා.

  මුවා එතනට පැමිණ මෙහෙම හිතුවා. "මා මරන්න එළවාගෙන ආවත් රජතුමා දැන් අනතුරක වැටිලා ඉන්නෙ. ඒ නිසා මම මඟහැර යන එක සුදුසු නෑ. මම රජතුමාට උදව් විය යුතුයි" . 

"රජතුමනි, බිය වෙන්න එපා. මම ඔබතුමාව බේරා ගන්නම්. මා වලට පැන්න පසුව, ඔබ , මගේ පිට උඩට නඟින්න" කියලා මුවා වලට පැන්නා. 

රජුට පිට දුන් පසු රජතුමා එහි නැඟලා වලෙන් ගොඩට ආවා.

උඩට ආව මුවා වෙහෙස වෙලා හිටිය රජතුමාව පිට උඩ තියාගෙන පිරිස ළඟට ගෙනැවිත් බැස්සුවා. රජතුමා පිරිසත් සමඟ  රාජ මාළිගයට ගියා. එදා පටන් රජතුමා ඒ රටේ මුව දඩයම තහනම් කළා. අනෙක් සතුන්ටත් අභයදානය ලැබුනා. 

රජතුමා නිර්මාංශ වෙලා යහපත් ලෙස රාජ්‍ය පාලනය කළා.  දවසක් රජතුමා ලඟටම ආව මුවෙකුට රජතුමා විද්දේ නෑ. ඒ ගැන පුරෝහිත බමුණා ඇසුවා. ඒ වෙලාවේ තමා වතුර වලෙන් ගොඩ ගත් මුවා ගැන රජතුමා කීවා. මට ඒ උපකාර කල මුවා නිසා මුවන්ට විදින්න හොඳ නැති බව පැවසුවා. රජතුමා අන් අයටත් කළගුණ සැලකීමේ අගය ගැන කියා දුන්නා. රජතුමාගේ හොඳ ගතිගුණ නිසා ඒ රටේ වැසියන් හොඳ ගතිගුණ පුරුදු උනා. රට සමුර්ධිමත් වුණා. 


ඔන්න , දුවේ පුතේ අද පොසොන් පෝය දිනයේ නැන්දා පුතාලට කියා දුන්නෙ, අපිට කෙනෙක් කරදරයක් කලත්, අපි ඒ අයව විපතට දමන්න හොඳ නෑ. කවුරු හරි අපට උපකාරයක් කලාම අපි ඒක අමතක කරන්න හොඳ නෑ. ඒ අය කරදරයක වැටුනාම අපිත් ඒ අයට,  උපකාර කරන්නට ඕනෑ. එතකොට අපි හැමදෙනාම ගුණවත් කම් පුරුදු කරනවා. නරක අයත් හොඳ අතට හැරෙනවා. බලන්නකො මුවා නිසා මුළු රටම හොඳ උනා නෙ.

Friday, June 7, 2013

සත්තිගුම්බ ජාතකය.




ඉන්දියාවේ උත්තර පංචාල නුවර මහ ඉඹුල් කැලයක් තිබුණා. ඒ කැලෑවේ ගිරා පවුලක් වාසය කලා. ඒ ගිරා පවුලේ පුංචි ගිරා පැටවුන් දෙන්නෙක් හිටියා.  දවසක් මහ සුළඟක් ඇවිත් මේ ගිරා කූඩුව ගහ ගෙන ගියා. මේ පැටවුන් දෙන්නාත් හුළඟට අසු වුණා.  එයින් එක් පැටවෙක් හොරුන් වසනා ගම්මානයකට වැටුනා. හොරු ඌව අල්ලා ගෙන හදා වඩා ගත්තා. අනෙක් ගිරා පැටියා තාපස වරුන්ගේ  අසපුවකට වැටුනා. තාපස වරු ඌව ආදරෙන් හදා වඩා ගත්තා. හොරුන් ලඟ වැඩුන ගිරවා නරක වචන කතා කලා. හොර මැරකම් පුරුදු වුනා. තාපසවරුන් ලඟ හැදුන වැඩුන ගිරවා ප්‍රිය වචන කතා කලා. කීකරුව හැදුනා. හොඳ පුරුදු පුහුණු වුණා. 

දවසක් දුවේ, පුතේ, ඒ රටේ රජතුමා දඩයමේ ගියා. රජතුමාට පාර වැරදුනා. හොරු කණ්ඩායම හිටිය කැලයේ ගසක් මුල වෙහෙසට පත් රජතුමා ඉඳගත්තා. හොරුන් ලඟ හැදුන ගිරවා "  මූව අල්ලාපිය, මූට කොටාපිය ,  මූව මරාපිය "  කියල නපුරු කැත වචන වලින් කෑ ගැහුවා. රජතුමා හොඳටම බය වෙලා එතැනින් ගියා. දන්නෙම නැතිව ඊට පස්සෙ තාපසයින්ගේ ආරාමයට ආව. එතන හිටිය හොඳ ගිරවා " එන්න, අසුන්ගන්න, මේ පළතුරු කන්න,ඔබට හුඟක් වෙහෙසද? තාපසවරු කැලයට ගියා. ඉක්මනින්ම ඒවි " කියල බොහොම ආදරෙන් කතා කළා. රජතුමා පුදුම උනා. කලින් ගිරවා කිව්ව දේවල් මේ වෙලාවෙ රජතුමා කිව්වා. එවිට මේ ගුණවත් ගිරාපැටියා ඒ තමාගේ සොහොයුරා බව රජතුමාට කිව්වා. එයා හොරුන් අතට පත් වෙලා නපුරු කම්, නරක වචන  ඉගෙන ගත් බවත් තමන් තාපසයින් ගෙන් යහපත දේ, ප්‍රිය වචන හා හොඳ ගුණධර්ම ඉගෙන ගත් බවත් රජතුමාට කීවා. 

රජතුමා තාපසවරු එනතෙක් වෙහෙස නිවා ගෙන ගිරවා එක්ක සතුටින් කාලය ගත කෙරුවා. තාපසවරු පැමිණියාට පස්සෙ රජතුමා මේ කතාවේ ඇත්ත විස්තරය පැහදිළිවම දැන ගත්තා. 


මේ කතාවෙන් කියවෙන්නෙ අපි කවදාවත්ම නරක අය ආශ්‍රය කරන්න හොඳ නෑ. අපි නරක අය ආශ්‍රය කලාම අපිත් නරක අය වෙනවා. මොකද ඒ නරක ගති ඉබේටම අපිටත් පුරුදු වෙනවා. අපි නිතරම හොඳ යහළුවන් ආශ්‍රය කරන්න ඕනෙ. ගුණවත් අයම ඇසුරු කරන්න ඕනෙ. හොඳ ගතිගුණ පුරුදු වෙන්නෙ එතකොටයි. ඒ නිසා අපි නිතරම හොඳ අයවම ඇසුරු කරන්න ඕනෙ. 

පුතාල , දුවල හැමටම තෙරුවන් සරණයි!.