හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Wednesday, June 27, 2012

සිරිත් මල්දම




ඔන්න දුවේ පුතේ අද නැන්දා කියල දෙන්නෙ ලස්සන ආදර්ශවත් කවි ටිකක්.  මේ කවි "සිරිත් මල්දම" කියන පොතෙන්.  ලියල තියෙන්නෙ එල් එම් සිල්වා ගරු මුහන්දිරම් තුමා.

මහත් සෙත්                 වඩමින
සිරිත් මල්දම               බලමින
සිරිත් හොඳ              දැනගෙන
මහත් යසසිරි  ලබනු දෙලොවින

මහත්වූ සෙතක් සලසන සිරිත් මල්දම කියවා දෙලොවම සැප ලබාගන්න. 


හොඳ ලෙස            හැදීමට
හොඳසිත ඕනෑ        හැමවිට
නරක සිත්              ඇතිවිට
නරකමයි සිදුවන්නෙ අපහට

හොඳ දරුවෙකු ලෙස හැදීමට හොඳ සිතක් ඔයාලට තියෙන්න ඕනෙ. නරක සිත් ඇති අයට සිදුවෙන්නෙ නරකක්ම තමයි.



නරක සිතින්                      නම්
හොඳක් නොකලැකි       කිසියම්
හොඳක් නොකලේ              නම්
උපන් ගතියෙන් නැත පලක් නම්

නරක සිතින් කිසිවිටෙකත් හොඳක් කල නොහැකියි. හොඳ දේ නොකරන්නේ නම් ඔබ මිනිසෙක් ලෙස ඉපදීමෙනුත් පලක් නැත.




පව්නම්                           නරකමය
එයින් දෙලොවෙහි              දුකමය
පින්නම්                          උතුම්මය
එයින් දෙලොවෙහි මහත්    සැපමය
  

පව් කිරීමෙන් මෙලොවට මෙන්ම පරලොවටද සෙතක් සිදු නොවේ. උතුම් වූ පින් කිරීමෙන් දෙලොවටම වැඩ සිදුවේ.




තමන් පණ ලෙස              හැම
සතුන් ගැන සලකා           පෙම
ඔවුන් දුටු                     විලසම
කරන් ආදර ගුණය නො   හැරම

අහිංසක සතුන්ගේ පණ තමන්ගේ පණමෙන් සලකා ඔවුන් දුටු තැන ඔවුන්ට කරුණාව දක්වන්න.

Friday, June 15, 2012

මිනිහගෙයි බල්ලගෙයි යාළුකම ඇතිවුනේ මෙහෙමයි


 


ඉස්සරම කාලේ බල්ලයි නරියයි ජීවත්වුනේ මහ කැලෑවෙ. මේ දෙන්නා එකම සහෝදරයො වගේ හරිම සමඟියෙන් එකතුවෙලා දඩයමේ ගිහින් එක කෑමවේල බෙදාගෙන කාල එකට එක ගෙදර රෑ නිදියගෙන සතුටින් හිටියා. ඔන්න ඔහොම ඉන්න අතරේ එක දවසක් කෑමට කිසිම දෙයක් දෙන්නාටම ලැබුනේ නෑ. රෑ වෙන්න ලොකු වැස්සකුත් ආවා. දැන් නම් බල්ලට හරිම බඩගිනියි. 

"අනේ, මටනම් හරිම බඩගිනියි, සීතලත් ඉවසන්න බැහැ" කියල බල්ලා කෙදිරි ගෑවා. " 

"ඔන්න ඔහෙ නිදියා ගනිමු. උදේට බැරියෑ මොනවත් හොයා ගන්න." කියල නරියා කිව්වා. ඒත් බල්ලට නින්ද ගියේම නෑ. 

බල්ලගෙ ඇඟේ නරියගෙ තරම් ලෝම තිබුනෙ නැති නිසා එයාට සීතල තදින්ම දැනුනා. එයා එළියට ඇවිත් බලන කොට ඈතින් පුංචි එළියක් පෙනුනා." අර එළිය නම් ගිනිගොඩක වෙන්න ඕනේ. ඒක මිනිස්සු ඉන්න ගමක් වගේ. අපිටත් හීතල ඇර ගන්න ගින්දර ටිකක් අරං එන්න නරිහාමිට පුලුවන් නේ, උඹ හරිම හපනනේ" කියල බල්ලා නරියාට කිව්වා. "මට නම් එහේ යන්න බැහැ, උඹට ඕනේම නම් උඹටම යන්න බැරියෑ. කියල නරිය නිදා ගත්තා. ‘එතන රස්නෙත් ඇති, අහක දාන කෑමත් ඇති’ කියල හිතන කොට බල්ලට තවත් බඩගිනි වැඩි උනා." මට නම් මේ හීතලයි, බඩගින්නයි ඉවසන්නම බැහැ. මම එහෙම නම් ගිහින් ඔයාටත් එක්ක කෑම ටිකක් අරන් එන්නම්. හැබැයි මට එන්න පාර එහෙම වැරදුනොත් ඔයා එන්න ඕනෙ" කියල බල්ලා එළියට බැස්සා. 

ඉතින් බල්ලා හිමිහිට බඩගාගෙන වගේ යනකොට කුකුළෙක් ඇඬලුවා. ඒ සද්දෙට ගෙයින් එළියට ආව ගෙහිමියා "ආ ... බලුනයිදේ.........හොරකම් කරන්න නේද මේ මහ රෑ මෙහෙට ආවෙ" කියල බල්ලාව අල්ලා ගත්තා. 

"අනේ මාව මරන්න එපා! මම කාටවත් වැරැද්දක් කරන්නේ නෑ. අදට විතරක් මට සීතල ඇරගන්න ගිනිමැලේ ළග ඉන්න දෙන්න. මට අනුකම්පා කරල ඉඩදෙන්න. මම ඊට පස්සෙ කවදාවත් කරදර කරන්නෙ නෑ" කියල බල්ලා පිංසේන්ඩු උනා.

මිනිහාටත් බල්ලා කියාපු විදිහට දුක හිතුනා. "හොඳයි එහෙම නම් හෙට උදේම ගමේ කාටවත් කරදර නොකර යන්න ඕනේ" කියල මිනිහ අවසර දුන්නා. 
බල්ලාත් හොඳින් ඇඟ රත්කරගන්න ගමන් අහක දමාපු මස් කටුවකුත් හොයාගෙන ලෙවකකා හිටියා. රෑ මැදියමේ මිනිහට ඇහැරුනා, "තාම ගියේ නැත්ද? " කියල බල්ලගෙන් ඇහුවා.

''අනේ, මම තවත් ටිකක් ඉන්නම්" කියල බල්ලා කිව්වා. අන්තිමේ දෙන්නාටම හොඳටම නින්ද ගියා. 

උදේ ඇහැරුන මිනිහා බල්ලගෙන් ඇහුවා "ඈ …..බලුරාල මොකද ? තාම ගියේ නැත්තෙ" කියල. 

"අනේ , මට දැන්නම් හීතල නැහැ. ඒ උනාට ආයෙත් කැලේට ගියොත් මට බඩගින්නෙන් , හීතලෙන් මැරෙන්නයි වෙන්නෙ. මටත් මේ ගෙදරම ඉන්න දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්. මම ඔබට කුරුල්ලො දඩයම් කරන්න උදව් වෙන්නම්. වෙන සත්තු අල්ලා ගන්නත් උදව් කරන්නම්. එතකොට ලෙහෙසියෙන්ම ඔබට ඒව කරගන්න පුලුවන්නෙ. මම මගේ සහෝදර නරියා වගේ ඔබගෙ එළුවොයි කුකුළොයි හොරකම් කරන්නෙ නෑ කියල පොරොන්දු වෙන්නම්. මට ඕනෙ ලිප ළඟට වෙලා ඉන්නයි වීසි කරන මස් කටු කන්නයි විතරයි" කියල බල්ලා ආයෙත් පිංසේන්ඩු වුනා. 

බල්ලගෙ ඇස් දෙක දිහා බලපු මිනිහට තේරුනා බල්ලා කියන්නෙ ඇත්ත බව.

"හොඳයි එහෙනම් පොරොන්දු විදිහට ඉන්නවා නම් මම බලුරාළට ඉන්න ඉඩ දෙන්නම් කියල මිනිහා කිව්වා. 

ඉතින් ඔන්න ඔය විදිහට බල්ලගෙයි මිනිහගෙයි යාළුකම අද දක්වාම තියෙනවා.