හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Friday, August 8, 2014

සිරිත් මල්දම 3




අතින් අත බැඳ                            පෙළ
නොයන් මං මාවත්                      වල
තැනින් තැන කඩ                         වල
නොයන් කරුණක් නැතිව කිසි    කල


අතිනත් බැඳ  පාරේ ගමන් කිරීමත් නිකරුනේ කඩපිල් වල ගැවසීමත් හොඳ නෑ. ඒ දේවල් කිරීමෙන් තමයි දරුවන් දුරාචාරයන්ට හුරු වෙන්නෙ.


තැනින් තැන ගෙන්                ගෙට

ගොසින් බලමින්                 වට පිට
අනුන් කන බොන                     විට
ලොබින් නොයිඳින්  නැතත්    කෑමට



තමන්ට කෑමට කිසිවක් නැතත් අනුන් කන බොන ස්ථානවල බලාගෙන ඉන්න හොඳ නෑ.




දනන් නිති                          ගැවසෙන 

තැනින් කුඩ ඉහලා                   ගෙන 
සැරෙන් බස්                          කියමින
ගමන් නොකරන්           උඩඟු විලසින 


සෙනඟ ඉන්න තැන් වලින් කුඩ ඉහලා ගෙන ඒ අයට අවහිර වෙන ලෙස මහ හඬින් කතා කරමින් ගමන් කරන්න නම් හොඳ නෑ.



පාරේ යන එන                      විට 

අයින් වීමෙන්                   දකුනට
දුව පැන දඟ                  නොකොට 
ගමන් කළ යුතුය හැම             විට

පාරේ යන එන විට ඒ මේ අත දුවමින් දඟලමින් නොයා දකුණු පැත්තෙන්ම යන්න ඕනෙ දුවල පුතාල.




යම්කිසි                                    ගෙදරකට 

ගිය කල ඕනෑ                              කමකට
ඔවුන් නොමදැක                             ගෙට
ඇතුල් නොම වන් නොහොබී         සිරිතට


අනුන්ගේ ගෙදරකට ගියාම ඒ අයගේ අවසරයක් නැතිව ඒ ගෙට ඇතුල් වෙන්න එපා. එහෙම කලාම ඒ අය සතුටු වෙන්නෙ නෑ. ඒක හොඳ සිරිතක් නෙමෙයි. 

Sunday, June 29, 2014

ගිරිදත්ත ජාතකය

හුඟක් කාලෙකින් තමයි ඔන්න දුවල පුතාල බලන්න එන්න ලැබුනෙ. එකට අමනාප නැහැනෙ.  අද නැන්ද කියන්නෙ ගිරිදත්ත ජාතකය. 


ඔන්න එක්තරා කාලෙක බරණැස් නුවර සාම කියල රජෙක් හිටියා. ඒ රජතුමාට පාංඩව කියල අශ්වයෙක් හිටියා. අස්සයාව බලාගන්න අස්ගොව්වාගෙ නම තමයි ගිරිදත්ත. අශ්වයාට කටකලියාව එහෙම පළඳවලා සෑදලය එහෙම දාල මේ අස්ගොව්වා අශ්වයාගෙ ඉස්සරහහින් යනවා. ගිරිදත්තගෙ  එක කකුලක්  ටිකක් කොටයි. එයා ඉතින් ඇවිදින්නෙ කොරගගහ. දන්නවනෙ කකුල කොට උනාම ටිකක් නොන්ඩි ගහල තමා ඇවිදින්නෙ. අනේ ඉතින් මේ අශ්වයා හිතුවා මේ අස්ගොව්වා කොර ගහමින් යන්නෙ මට මේ වාගෙ ඇවිදින්න උගන්වන්න කියල එයත් ඒ විදිහට අනුකරණය කරමින් ඇවිදින්න ගත්තා. 

දුවල පුතලත් එහෙම අනුකරණය කරනවනෙ නේද, සමහර වෙලාවට අම්මගෙ අඩි උස සපත්තු එහෙම දාල යන්නෙ, අන්න ඒවාගෙ  මේ අශ්වයාත් එහෙම ඇවිද්දෙ.  

ඉතින් මේ අශ්වයා කොරගහන බව රජතුමාටත් දැන ගන්න ලැබුනා. රජතුමා මහ ඇමති කැදවලා මේ ගැන කියලා මොන ලෙඩක් නිසා මෙසේ කොර ගහනවාද? කියලා සොයා බලන්න නියම කලා. ඉතින් මහ ඇමතිතුමා වෙදදුරාත් සමඟ මේ ගැන විමසා බලන්න කියලා අශ්වගාලට ගියා. මේ අශ්වයාට කිසිම ලෙඩක් නැතිබව වෙදදුරා කීවා.

තව දුරටත් විමසා බලනවිට සියල්ලන්ටම හේතුව තේරුම් ගියා. ඒකට හේතුව තමා අස්ගොව්වා කොර ගහන නිසා අශ්වයාටත් ඒක පුරුදු වූ බව.  මහ ඇමතිත් වෙදදුරුත් රජතුමාට මේ බව දන්වා සිටියා. රජතුමා අස්ගොව්වා ඉවත්කර වෙන අස්ගොව්වෙක් අශ්වයා බලාගන්න යෙදෙව්වා. ටික දවසක් යන කොට අශ්වයා කොරගැසීම නවතා හොඳින් ඇවිදින්න පටන් ගත්තා.


ඔන්න බලන්න දුවේ, පුතේ යම් කෙනෙක් නරක අය ආශ්‍රය කරන කොට ඒ අයට පුරුදු වෙන්නෙ නරක ගතිගුණයි. හොඳ අය ආශ්‍රය කරන කොට ඒ අයට පුරුදු වෙන්නෙ හොඳ ගතිගුණයි. අපිත් දියුණු වෙනකොට නරක ගති තියෙන අය අත්හරල හොඳ ගති තියෙන උත්සාහ වන්ත අය ඇසුරු කරන්න හිතට ගන්න ඕනෙ.