ඔන්න දුවේ, පුතේ, නැන්දා මුලින්ම කියන්න යන්නෙ අප්‍රිකාවෙ ලස්සන ජන කතාවක්. නැන්ද එහේ කාලයක් හිටිය හින්ද ඒ රටේ ජන කතා ගොඩාක් නැන්ද ඔයාලට කියල දෙන්න තමයි හිතා ඉන්නෙ. ඉතින් අප්‍රිකාව ලංකාව වගේ පොඩි රටක් නම් නෙමෙයි. ඒක මහාද්වීපයක්. අම්මට හරි තාත්තට හරි කියල පිහිටීම බලා ගන්න ඕනෙ දුවල පුතාල. අපි ලෝකෙ හැම රටකම පිහිටීම දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි නේද? කවදා හරි ලෝකෙ ලස්සන තැන් බලන්න යන්නත් ඔයාල උත්සාහ කරන්න ඕනෙ.
දැන් ඉතින් නැන්ද කියන්න යන්නෙ සැම්බියාව කියන රටේ තියෙන ජන කථාවක්. මේ රටවල බොහොමයක් ජන කථා තියෙන්නෙ සත්තු එක්ක බද්ධ වෙලා. ඒ, ඒ රටවල්වල මිනිස්සු සත්තු එක්කම ජීවිත ගෙවන නිසා. පරිසරය රැකගෙන ඒ ආශ්‍රිතව තමයි එයාල ජීවත්වෙන්නෙ. ඒ ජනකථා බොහොමයක් අපේ වගේ කටින් ,කට පරම්පරාවෙන්, පරම්පරාවට කියාගෙන ආව ඒව. ආච්චිල සීයල මුණුබුරු මිනිපිරියන්ට කතා කියන්න හරිම දක්ෂයි. අපේ රටෙත් එහෙම නේද?
ඔන්න ඉතින්, ඒ කාලෙ හිටියලු මුටූපා කියල සිංහයෙකුයි, කලූලු කියල හාවෙකුයි. කලූලු කියන හාවා අනෙක් සතුන් අතර උපායශීලී කෙනෙක් ලෙස හිවලා හා වඳුරා වගේම ප්‍රසිද්ධ වී සිටියා. කොච්චර ප්‍රසිද්ධ වෙලා හිටියද කීවොත් සිංහ රජතුමා පවා දැනහිටියා මේ කලූලු හාවගේ දක්ෂකම්. ඒ වගේම කොටිහාමිත් දැනගෙන හිටිය මේ හාවගේ දක්ෂකම්. ඈත එපිට කාලෙක මේ මුටූපා සිංහ රජතුමාට මේ කලූලු කියන හාවාව මුණගැසුනා. ඉතින් සිංහයෙකුට හාවෙක් හම්බ උනාම නිකම් ඉන්නවද? නේද. නෑ! , එයාට හාවව මරාගෙන කන්නම තමයි හිත. ඉතින්, හාවව කට ලඟට ගන්න කොට හාවා අහනවා මුටූපා සිංහයාගෙන් "අනේ රජතුමනි, ඇයි ඔබතුමා කට අරිනකොට වතුර වගේ කෙල වැක්කෙරෙන්නෙ? " කියල.
එතකොට සිංහයා අහනවා "ඇයි හාවෝ, නුඹ, මස් කෑල්ලක් නෙමෙයිද?" කියල.
හාවා කියනවා " අනේ, රජතුමනි, මගේ නම් මස් ගොඩක් නෑ. කටු ටිකක් තමයි ඔබ තුමාට දෙන්න වෙන්නෙ. " කියල. දැන් ඔන්න හාව බොහොම දුක හිතෙන මුහුණක් හදාගෙන ඉන්නෙ. හාවා දිහා බැළුවහම සිංහයාටත් ඇත්ත නේද? මේ හාවා කියන්නෙ කියල හිතුන. ඒත් එක්කම හාවා මෙහෙමත් කියනවා. " මාව කෑවොත් රජ තුමනි ඔබට බඩගින්නේම තමයි ඉන්න වෙන්නෙ, ඒ නිසා අපි දෙන්නම හොඳට මස් තියෙන ලොකු මහත සතෙක්ව හොයාගෙන යමු" කියල ."හ්හා! හ්හා! හ්හා!, හොහ් හෝ!, හොහ් හෝ!, හොහ් හෝ!" කියල මහ හයියෙන් හිනා උනා.
හිනා වෙලා අහනව " ආ.........උඹ! උඹ! , උඹට පුලුවන්ද මාත් එක්ක දඩයම් කරන්න . " කියල. ඒතකොට හාවා කියනවා “ අපි යමු මිනිස්සු ඉන්න ගමකට එහේ ගිහින් ලොකු සතෙක් හම්බ උනේ නැතිනම් රජතුමනි නුඹට පුලුවන් එතකොට මාව මරාගෙන කන්න" කියල.
ඉතින් ඔන්න දෙන්නම යනවා ගම්මානයක් සොයාගෙන. ඇවිදගෙන යනකොට ආව ගමක් ළගට, එතනදී හොඳට වැඩුන ගොන් නාම්බෙක් හම්බ උනා සිංහයාට. ඒ සතාව දඩයම් කරන අතරේ හාවත් හෙව්වා එයාට හරියන දඩයමක්. ඒත්, හාවට බිම පෙරළි, පෙරළි ඉන්න බූරුවෙක් ඇරෙන්න කිසිම කෙනෙක් දකින්න ලැබුනෙ නැහැ. දැන් මොකද? කරන්නෙ. සිංහයා ලැබුන දඩයමත් අරගෙන ඔන්න යනව ගෙදර යන්න. හාවත් දැන් සිංහයා එක්කම යනවා. ටිකක් ඉරිසියාවකුත් ආව , ඇයි? දන්නව නේද? එයාට මොනවත් දඩයම් කරගන්න ලැබුනෙ නැහැනෙ, ඒකයි.
එක පාරටම හාවා කියනවා සිංහ රජතුමාට " අනේ, රජතුමනි! ඔබතුමා කොච්චර අවාසනාවන්තද?" කියල. ඒ පාර රජතුමා මහත් විස්මයෙන් අහනවා හාවා ගෙන් " ඒ මොකද?” කියල.
" අනේ, මේ අසරන ගොනා , හරිම කෙසඟයි, මුගෙ හැටි! කිසිම පෝශණයක් නෑ. මූව, කෑවට වඩා හොඳයි මාව මරාගෙන කෑව නම්" කියල. හාවා ආයෙත් කියනව “ඕනෙම කෙනෙක් දන්නවා රජතුමනි, ලොකු මහත සතෙක්ට ඇන්නම හරි, බිම ගැහුවම හරි දුම් පිටවෙනවා" කියල.
සිංහයා දැනගෙන හිටියෙ නෑ ඒ ගැන. ඒ උනාට ඒ බවක් හාවට පෙන්නුවේ නෑ. සිංහයා ලොකු කෝටුවක් අරගෙන ගොනාගෙ පැත්තකට ඇන්න ඒත් දුම් නම් ආවෙනෑ. ඊළගට පිටිපස්සෙන් ඇන්න කටින් මතුවෙනකල්. ඒත් දුම් ආවේ නෑ. ඉතින් සිංහයා හාවාට කිව්වා "මේ නම් හොඳ මහත සතෙක් " කියල, හාවට ගොරවලා සිංහයා ගොනාවත් අරන් යන්න ගියා. කලූලු හාවා, ලැජ්ජාවෙන් හිස නමා බලා ගෙන හිටියා , මුටූපා සිංහයා ආඩම්බරෙන් යන දිහා.