ඔන්න දුවේ පුතේ අදත් නැන්ද ඔයාලට කියන්න යන්නෙ අප්‍රිකාවෙ කතාවක් තමයි. ඔන්න එක දඩයක් කාරයෙක් හිටිය . එයා දවසක් කැලයට ගියා දඩයම් කරන්න. ඒ උනාට ආපහු නම් ගෙදර ආවෙ නෑ. ගෙදර අය බලාගෙන හිටිය එයා ආපසු එනකල්. කාලයක් ගෙවිල ගියාට මේ දඩයක් කාරයා ආවේ නෑ. හැමෝම එයා ආපසු එන්නෙ නෑ කියල අත්හැරල දැම්මා. මතක් කලේම නෑ. ඒ උනාට බාලම පුතා හැම තිස්සේම එයාව මතක් කරමින් දුක් උනා. හැම වෙලාවෙම “කෝ ! මගේ තාත්තා” කියමින් හැමටම කරදර කලා එයාව හොයන්න.
දවසක් ලොකු අයියලා ගෙදරින් පිටත් උනා මේ තාත්තාව හොයන්න. ඒ හැමෝම විජ්ජා කාරයෝ. එයාල ඇවිදගෙන යත්දි ඔන්න ඉතින් තාත්තාගෙ ඇට කටු ටික හම්බ උනා. ඒ අය ඒව එකතු කරගෙන ගෙදරට ආව. ඒ ඇවිත් එයාල මොකද? දන්නවාද කලේ. ඒ ඇටකටු ටික එකතු කරල තාත්තාගෙ ඇට සැකිල්ල හැදුවා. මේ ටික කලේ ලොකුම පුතා. ඊළඟට දෙවෙනි පුතා එකතුවෙලා එයාට හම හා මස් ටික මැව්වා. ඊට පස්සෙ තුන්වෙනි පුතා එයාට හුස්ම ටික දුන්නා.
කොහොමද මෙහෙම පන දෙන්නෙ නේද? ඒ අය විජ්ජා කාරයො නේ , ඒකයි. ඔන්න ඉතින් දඩයක් කාරයා දැන් නැගිට්ටා. එයා ගම වටේම ගිහින් හරිම සතුටින් හිටියා. දැන් එයා කියනවා මාව පන ගත්ත කෙනාට මම වටිනාම තෑග්ගක් දෙනවා කියලා. පුතාල හැමෝම එකතුවෙලා “අනේ!තාත්තෙ, තෑග්ග මට දෙන්න” කිය ,කියා තෑග්ග ඉල්ලුවා. ඒ උනාට, මේ තාත්තා තෑග්ග දෙන්න තීරණය කලේ බාලම පුතාටයි. ඒ මොකද එයා තමයි තාත්තාව අමතක කලේ නැත්තෙ. එයා හැම වෙලාවෙම අනෙක් අයට කරදර කලා තාත්තාව හොයන්න යන්න.
මිනිහෙක් කවදාවත් මැරෙන්නෙ නෑ එයාව අමතක කරන කල් කියල තාත්තා අවවාදයක් පුතාලට දුන්නා. ඉතින් දුවල පුතාලත් කවදාවත් තමන්ගෙ දෙමාපියන්ව අමතක කරන්න හොඳ නෑ හොදේ.