හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Friday, February 3, 2012

නිදහස සමරමු!

ඔන්න අද නැන්ද දුවල , පුතාලට කියන්නෙ කථාවක් නම් නෙවෙයි. අපි මේ ලෝකෙ ජීවත් වෙන කොට දැනගන්න ඕනෙ කරුණු ටිකක් තමයි නැන්ද අද කියල දෙන්නෙ.

අපි අපේ ආගමට බොහොම ගරු කරන්න ඕනෙ. අපි ඉතින් ,එක, එක ආගම් වල අයනෙ. ඒක නිසා අපි ඉපදෙන කොට අම්ම, තාත්ත ගෙ ආගම තමයි අපිට අයිති වෙන්නෙ. සමහර විට අම්ම එක ආගමක තාත්තා එක ආගමක වෙන්න පුලුවන්. ඒ අය දෙන්නාගෙම ආගම අදහනවා වෙන්න පුලුවන්. ඒ කොහොම උනත් බෞද්ධ අය ඒ ආගමටත්, ක්‍රිස්තියානි අය ඒ ආගමටත්, මුස්ලිම් අය ඒ ආගමටත් දමිල අය එයාලගෙ ආගමටත් , තවත් වෙනත් ආගම් අදහන අය ඒ ආගම් වලටත් ගරු කරන්න ඕනෙ. ඒ වගේම අපි වෙන වෙන ජාති වලට අයත් වෙන්න පුලුවන් , ඒ ජාති වලටත් අපි ගරු කරන්න ඕනෙ. ඒ කියන්නෙ වෙන වෙන ආගම් වලටත් , වෙන වෙන ජාතීන් වලටත් අපි හැමෝම ගරු කරන්න ඕනෙ කියන එකයි.

වැඩි හිටි අයගෙ අනුසාසනා අපි හොඳින් පිළිගන්නට ඕනෙ. ඒ වගේම අපේ ගුරුවරුන් කියල දෙන දේ හොඳින් අපි ඉගෙන ගන්නට ඕනෙ. හැම වෙලාවෙම පාසැලේ දී විනය ගරුක වෙන්න ඕනෙ. ඕනෙම රටක පාලනය කරන නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියට අපි නිතරම ගරු කරන්න පුරුදු වෙන්න ඕනෙ. සමහර වෙලාවට අපේ දෙමව්පියන් හෝ වෙනත් ලොකු අය ඒව මගහරින්න පුලුවන්. ඒ උනාට පුතාල දුවල ඒ වගේ වෙන්න එපා. ඒවගේ නීති ගරුක උනාම රටක හොඳ පුරවැසියන් බිහි වෙනවා. එතකොට හැමෝටම සහජීවනයෙන් කරදරයක් නැතිව ඉන්න පුලුවන්.

අපි ගමන් බිමන් යනකොට අපි ගෙනියන දේවල් ගැන හොඳින් සැලකිලිමත් වෙන්න ඕනෙ. අපි ප්ලාස්ටික් බෑග් වගේ දේ ගෙනියනවා නම් ඒවා අපි පරිහරනය කලාට පසුව ඒ දේවල් අපි බැහැර කරන්නෙ කොහොමද? කියල ටිකක් හිතන්න ඕනෙ. අපි නිසි තැන් වල කසල බැහැර නොකලොත් ඒවයින් පරිසරයට වෙන හානිය හරිම විශාලයි. අපේ පරිසරය අපි හොඳින් ආරක්ෂා කර ගන්න ඕනෙ. අපේ රටේ පරිසරය ලෝකෙන්ම ලස්සන තැන් තියෙන තැනක්. අපේ ලස්සන මුහුදු වෙරළ වගේම අපේ දිය ඇලි, ගංගා, කඳුකරය වගේ තැන් අපි රැක ගන්න ඕනෙ. ඒ නිසාම අපි ටොෆියක් කෑවත් ඒ කොලය අපි නිසි තැන බැහැර කරන්න පුංචි කාලෙ ඉඳලම පුරුදු වෙන්න ඕනෙ.

අපි අපේ දුප්පත් යහළුවන්ට උදව් කරගෙන ඉගෙනීම කටයුතු කරන්න ඕනෙ. ඒ අයට උදව්වක් ඕනෙ වෙලාවක දෙමාපියන්ට කියල ඒ අවශ්‍ය දේ ලබා දෙන්න පුතාල උනන්දු වෙන්න ඕනෙ. එහෙම කලාම කාලෙකදි ඒ ගැන හිතල අපිට සතුටු වෙන්න පුලුවන්. අපේ යහළුවන් ගොඩාක් ඉන්නවා නෙ. ඒ අයත් වෙන වෙන ජාති වලට අයත් වෙන්න පුලුවන් නේ. ඉතින් එයාලත් එක්ක සහජීවනයෙන් ඉන්න අපි පොඩි කාලෙම පුරුදු වෙන්න ඕනෙ. එහෙම කලාම අපිට අපි කලින් අත්වින්ද යුද්ධෙ වගේ දේවල් ඇතිවෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. දුවල පුතාල දන්නවානෙ නිදහසේ අරුනළු අපිට හෙට උදාවෙනවනේ. ඉතින් මේ නැන්දා කිව්ව දේවල් ටික හොඳට හිතට අරගෙන, වටිනා දරුවන් වෙන්න හිතා ගන්න ඕනෙ. ඔයාලගෙ ඉදිරි අනාගතය දැනුමින් පෝසත් කරගෙන හොඳ දරුවන් වෙලා අපේ මේ ලස්සන රට බබලවන්නට හැමෝටම වාසනාව ලැබෙන්න කියල නැන්දා බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.

ඔන්න දැන් මේ දේවල් අහපු දුවලටයි, පුතාලටයි පුංචි කථාවක් තෑගි ලෙස නැන්දා ගෙන් නිදහස් දිනය සමරන්න.

මද්දුම බණ්ඩාර කියන්නෙ අපේ ඉතිහාසයේ සඳහන් ව ඇති ළමා වීරයෙක් . ඔහු ඉපදුණේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇහැළේපොළ කියන ගමේ. ඔහු ගේ තාත්තා ඇහැළේපොළ අධිකාරම්තුමා. අම්මා තමයි ඇහැළේපොළ කුමාරිහාමි. ඒ කාලයේ කන්ද උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මහ අධිකාරම් තනතුර දරුවේ මද්දුම බණ්ඩාර ගේ තාත්තා වන ඇහැළේපොළ අධිකාරම් තුමා තමයි. මේ පවුලේ දරුවන් තුන් දෙනෙක් සිටියා. ඒ අයගෙන් දෙවැනියා තමයි මද්දුම බණ්ඩාර. අයියා ලොකු බණ්ඩාර.

ඒ කාලයේ කන්ද උඩරට පාලනය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නිතර ම තම නිලමේ වරුන් ගැන සැකයෙන් තමයි හිටියේ. තමා සිංහාසනයෙන් නෙරපා දමා රජකම ලබා ගනීවි කියලා ඔහුට ලොකු බයක් තිබුණා. විශේෂයෙන්ම මද්දුම බණ්ඩාරගේ පියා ගැන ලොකු සැකයක් තිබුණා. ඒ රජතුමාට විරුද්ධ ව ඇහැළේපොළ අධිකාරම් තුමා කැරැලි ගසාවි කියල. ඒ නිසා රජතුමා ඔහුට නොයෙකුත් විදියේ කරදර කළා.

එක එක්කෙනාගෙ කේලාම් අහපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇහැළේපොළ පවුලට හොඳ දඩුවමක් දෙන්න ඕනෑ කියලා අදිටන් කර ගත්ත. ඇහැළේපොළ පවුලේ සියලු දෙනාට ම රජ මාළිගයට පැමිණ රජු බැහැ දකින ලෙස කියා පණිවුඩයක් යැවුවා. මේ වන විට ඇහැළේපොළ අධිකාරම් තුමා නිවසේ සිටියේ නැහැ. එහෙත් නියමිත දිනයේ මද්දුම බණ්ඩාරත්, අම්මාත්, අයියාත් ,එයාලගේ පුංචි නංගීත් රජ වාසලට ආවා. මේ අය දැක්කා ම රජ්ජුරුවෝ කෝපයෙන් වෙවුලන්න ගත්තා. කිසිම වරදක් නැති ඇහැළේපොළ පවුලේ පිරිමි අය , හිස ගසා මරා දමන්නටත්, ගැහැණු අය දියේ ගිල්වා මරා දමන්නටත්, පුංචි නංගියාව වංගෙඩියේ ලා කොටන්නත් රජ්ජුරුවෝ අණ කළා. රජ අණ අකුරටම ක්‍රියාත්මක වුණා.

මේ කණගාටුදායක ක්‍රියාව සඳහා තෝරා ගත්තේ මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට තිබෙන උයන. මද්දුම බණ්ඩා‍රගේ හා ඔහුගේ අයියාගේ හිස ගසා දමන දිනය ළංවුනා. මහ විශාල පිරිසක් මේ සිද්ධිය බලන්න රැස් වෙලා සිටියා. ඒ හැම දෙනාම බලා ගෙන සිටියේ හරි ම දුකකින් හා කණගාටුවකින්. රජවාසල වධකයා කඩුව අමෝරා‍ ගෙන ඉන්නවා. මද්දුම බණ්ඩාරත් පවුලේ අනෙක් අයත් දුක්මුසුව බලා ඉන්නවා. දංගෙඩියත් ඒ අසලම සූදානම් ව තියෙනවා. මුලින් ම මරණයට මුහුන දෙන්න තියෙන්නේ මද්දුම බණ්ඩාරගේ අයියා‍ට. ඔහු බයේ අම්මගේ ඇගේ එල්ලී ගෙන අඩනවා. එයා හැංගෙන්න හදනකොට අවුරුදු නවයක් වයස ඇති මද්දුම බණ්ඩාරගේ හිත දිරිමත් වුණා. වීරත්වයෙන් පිරී ගියා. මරණයට බය නැතිව මුහුණ දීමේ අමුතු ශක්තියක් ඔහු තුළ ඇති වූණා. නියම සිංහලයෙකු සතු ලක්ෂණ ඔහු තුල පහල වුනා.

“අයියන්ඩී බිය නොවන්න. මැරෙනා හැටි මම පෙන්වන්නම් ‍…..” කියලා දංගෙඩිය ළඟට ගියා . අත්දෙක පිටුපසට බැඳ‍ගෙන කෙළින් සිට ගත්ත. බියක් ශෝකයක් මුහුණේ ගෑවිලාවත් තිබුණේ නෑ.‍

“වධකය, එක කඩු පහරින් මගේ හිස වෙන් කරන්න …….” කියලා දංගෙඩියට ගෙල පෑවා. බලා හිටිය අය පුදුමයට පත් වුණා. “අනේ ! අපොයි!” කියලා ඔළුවේ අත් ගසා ගත්තා.

වධකයාගේ එක කඩු පහරින්ම මද්දුම බණ්ඩාරගේ හිස කඳින් වෙන් වුනා. නියම වීර සිංහල දරුවකුගේ උණුසුම් රතු ලේ දහර දංගෙඩිය පහළට රූටා වැටුණා. රැස්ව හිටි හැමෝම කඳුළු හෙලුවා. ඒ අය රජ තුමාට හිතින් සාප කලා.



මරණය ඉදිරියේ නොසැලුණු , සිංහල ලේ වල බලය ලොවටම කියා පෑ, මේ පුංචි වීරයා එදා පටන් වීර මද්දුම බණ්ඩාර කියා ප්‍රසිද්ධ වුණා. අදත් අප ඔහු ආඩම්බරයෙන් සිහිපත් කරනවා. සෑම අවුරුද්දකම මැයි 17 දා මද්දුම බණ්ඩාර වීර පුතාව අනුස්මරණය කරනවා. මේ ළමා වීරයා සැමරීම ජාතික වීරයෙකුට කරන ගෞරවයක්. මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ඇති ලස්සන උයන වීර මද්දුම බණ්ඩාර උයන කියා නම් කරල තියෙන්නේ ඔහුට කරන උපහාරයක් වශයෙන් . අදත් ඒ සිංහල පුංචි වීරයාගේ පිළිරුව එහි දැක ගත හැකියි.


Saturday, January 14, 2012

සාගර දූපතෙන් මුහුදු ගිය ධීවර පුත්‍රයාගේ කතාව




ඔන්න එකෝමත් එක කාලෙක කතාවක් කියන්නයි යන්නේ.දැනට අවුරුදු සියක් කාලෙකට එහා පුංචි සාගර දූපතක හිටියා මහලු ධීවරයෙක් . දන්න කියන කාලෙක ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට පුරුද්දෙන් මුහුදු ගිහින් මාලු මරන් ගොඩට ඇවිදින් විකුණලා කීයක් හරි යොයාගන්න එක තමයි එයාගේ රස්සාව.ඔය සාගර දූපතේ හිටි කොයි කාගෙත් කතාව ඔහොමයි .මුහුදු ගිහින් උපය ගන්න දේකින් එදා වේල ගැටගහගෙන චාමෙට ජීවත්වෙනවා .

අපේ මේ ධීවරයට හිටියා තරුණ පුතෙක් .පුරුද්දෙන් පරම්පරාවෙන් තාත්තගේ රස්සාව කලාට මොකෝ එයාට නම් සාගර දූපතේ තනිවෙලා ඉන්න ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ .තාත්තත් දැනගෙන හිටියා පුතණ්ඩියා දූපතට කොටු වෙලා ඉන්න වැඩි මනාපයක් නැතිවග . ඔන්න ඉතින් තාත්ත හිතූ විදියටම එක දවසක පුතා මේ සාගර දූපත අතෑරලා එයාගේ වාසනාව සොයාගෙන , අලුත් ලෝකෙකට යන්න ඕනෙ කියලා  තීරණය කලා .වයසක තාත්තා පුතාගේ අදහසට බාධා කලේ නෑ. ඔය තීරණේ ගත්තු දා ඉඳන් දෙමාසයක් යනකන් පුතා ගමනට සූදානම් වුණා . ඉස්සෙල්ලම හොඳ පුංචි රුවල් ඔරුවක් හදාගත්තා . සාගරේ තරණය කරගෙන දේශ දීපංකරේ යන්න නේ කල්පනාව .ඊලඟට දෙතුන් මාසෙකට උවමනා  කෑම බීම ඩිංගකුත් පුලුවන් විදියට සොයාගෙන ඔරුවේ ගබඩා කලා .


අන්තිමටම ගමන පිටත්වෙන දවස ආවා .ඒ කියන්නේ පුතා තාත්තගෙන් සමු අරගෙන එයාගේ අලුත් ලෝකෙ හොයාගෙන යන  දවස .දරුවෙක් මෙහෙම ඉරණම් ගමනක් යනකොට හැම තාත්තෙකුටම ලොකු දුකක් ,බයක් දැනෙනවනේ .ඒ වගෙම තමයි දරුවන්ටත් නොපෙන්නුවට දුකයි.ඒත් තාත්තල දාල යන්න වෙනවා .ඒක ලෝක සොබාවෙ කියලා හිතලා මේ තාත්තයි පුතයි තමන් හැමදාම මුහුදු ගිය සාගර දූපතේ පුංචි වරායට ගියා සමුගන්න අන්තිම වතාවට. එදාවෙල හරි හම්බ කරගත්තු තාත්තට පුතාවෙනුවෙන් දෙන්න සල්ලි බාගේ ,වස්තුව තිබුණේ නෑ .පුතත් දැනගෙන හිටියා තාත්ත සල්ලිකාරයෙක් නොවෙන වග .ඒ නිසා මහලොකු යමක් තාත්තගෙන් බලාපොරොත්තු නොවුනත්, ගමනට එයාගේ ආශිර්වාදය බලාපොරොත්තු වුණා. ඔන්න ඉතින් සේරම ලෑස්තිකරලා රුවල් ඔරුව දියත්කරන්න යද්දී පුතාව වැලඳගෙන සුබ පැතුව තාත්තා එයාගේ අතට ලොකු තල්මහෙක්ගේ මාලු කටු තුනක් දීලා කිව්ව "මේවා පරිස්සමින් තියාගන්න , නැතිකරගන්න එපා ,ජීවිතේ හැමදාම ඕනෙ වේවි .අමතක කරන්න එපා"කියලා .


"හ්ම්.... තල්මහෙක්ගේ කටු කෑලි වලින්  මොනව කරන්නද?" කියලා හිත හිතා අර ඉලංදාරියා ධීවරයගේ මූණ බැලුවා ප්‍රශ්නාර්ථෙකුත් එක්ක . පුතාව තේරුම ගත්ත තාත්තා ඒයින් එකක් අරන් මෙහෙම කිවා .

"පුතේ මේක නුඹේ හකු කටුව -Jaw Bone  හා සමානයි . නැතිකරගන්න එපා .මතක තියාගන්න  කොයි දේස දීපංකරේ ගියත් කවදා හරි දවසක සත්‍ය කතා කරන්න , හොඳ වචන කතා කරන්න මේ හකු කටුව නුඹට උදවු වේවි කියලා" .

ඉතින් පුතා අහනවා "එතකොට තාත්තේ මේ අනික් ඇට කටු ?"

තව මාලු ඇට කෑල්ලක් අතට ගත්තු ධීවරයා කියනවා "මේක නුඹේ කොඳු ඇටය -Back Bone හා සමානයි .මතක මතක තියාගන්න  මේ කොඳු කටුව තියෙනතාක් කල් නුඹට අයුක්තිය , අසාධාරණේ , ඉස්සරහ නැවෙන්න ඕනෙ වෙන්නේ නෑ.හැබැයි යුක්තිය , නිවැරදි දේ වෙනුවෙන් හිස නවන්න ,එකඟ වෙන්න .තමන්ගේ නිවැරදි මතය වෙනුවෙන් බය නැතුව නැගී හිටින්න  "කියලා .


ඒ අවවාදයත් හිස් මුදුනෙන් පිලිගන්න පුතා අහනවා අන්තිම මාලු ඇට කෑල්ල පෙන්නලා "තාත්තේ එතකොට මේ මොකද්ද "?කියලා .

"මේ නුඹේ පැතුම් කටුව- Wish Bone . මොන තරම් අසරණ වුනත් , වස්තු සම්පත් ,යාලුවො නැති වුනත් ,ජීවිතේ එපා වෙන තැනට ආවත් මේ පැතුම් කටුව අතාරින්න නම් එපා .ප්‍රාර්ථනා , බලාපොරොත්තු තමයි යම් දවසක නුඹව අලුත් ලෝකෙකට ගෙනියන්නේ "කියලා .

ඉතින් ඔය කටු තුන පිලිගත්තු පුතා සාගර දූපතෙන් තාත්තට සමුදීලා සතුටින් නික්ම ගියා කියල තමයි කියන්නේ .

මම හිතනවා මේ කතාවෙන් දෙන ආදර්ශය හොඳ පුරවැසියන් හැටියට  දරුවන්ගේ ජීවිත හැඩගස්වාගන්න උදවු වේවි කියලා . මොනතරම් බාධක , වැටීම් , කරදර ආවත් ජීවිතේ බලාපොරොත්තු ,ප්‍රාර්ථනා නැති කරගන්න එපා කියන එක(Wish Bone ) හරි ලස්සන අදහසක් .මේ කතාව මට කියලා දුන්නේ කාලෙකට  කලින් මගේ ශිෂ්‍ය උපදේශක වරයෙක් විදියට හිටි ගුරුතුමෙක්