හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Friday, June 7, 2013

සත්තිගුම්බ ජාතකය.




ඉන්දියාවේ උත්තර පංචාල නුවර මහ ඉඹුල් කැලයක් තිබුණා. ඒ කැලෑවේ ගිරා පවුලක් වාසය කලා. ඒ ගිරා පවුලේ පුංචි ගිරා පැටවුන් දෙන්නෙක් හිටියා.  දවසක් මහ සුළඟක් ඇවිත් මේ ගිරා කූඩුව ගහ ගෙන ගියා. මේ පැටවුන් දෙන්නාත් හුළඟට අසු වුණා.  එයින් එක් පැටවෙක් හොරුන් වසනා ගම්මානයකට වැටුනා. හොරු ඌව අල්ලා ගෙන හදා වඩා ගත්තා. අනෙක් ගිරා පැටියා තාපස වරුන්ගේ  අසපුවකට වැටුනා. තාපස වරු ඌව ආදරෙන් හදා වඩා ගත්තා. හොරුන් ලඟ වැඩුන ගිරවා නරක වචන කතා කලා. හොර මැරකම් පුරුදු වුනා. තාපසවරුන් ලඟ හැදුන වැඩුන ගිරවා ප්‍රිය වචන කතා කලා. කීකරුව හැදුනා. හොඳ පුරුදු පුහුණු වුණා. 

දවසක් දුවේ, පුතේ, ඒ රටේ රජතුමා දඩයමේ ගියා. රජතුමාට පාර වැරදුනා. හොරු කණ්ඩායම හිටිය කැලයේ ගසක් මුල වෙහෙසට පත් රජතුමා ඉඳගත්තා. හොරුන් ලඟ හැදුන ගිරවා "  මූව අල්ලාපිය, මූට කොටාපිය ,  මූව මරාපිය "  කියල නපුරු කැත වචන වලින් කෑ ගැහුවා. රජතුමා හොඳටම බය වෙලා එතැනින් ගියා. දන්නෙම නැතිව ඊට පස්සෙ තාපසයින්ගේ ආරාමයට ආව. එතන හිටිය හොඳ ගිරවා " එන්න, අසුන්ගන්න, මේ පළතුරු කන්න,ඔබට හුඟක් වෙහෙසද? තාපසවරු කැලයට ගියා. ඉක්මනින්ම ඒවි " කියල බොහොම ආදරෙන් කතා කළා. රජතුමා පුදුම උනා. කලින් ගිරවා කිව්ව දේවල් මේ වෙලාවෙ රජතුමා කිව්වා. එවිට මේ ගුණවත් ගිරාපැටියා ඒ තමාගේ සොහොයුරා බව රජතුමාට කිව්වා. එයා හොරුන් අතට පත් වෙලා නපුරු කම්, නරක වචන  ඉගෙන ගත් බවත් තමන් තාපසයින් ගෙන් යහපත දේ, ප්‍රිය වචන හා හොඳ ගුණධර්ම ඉගෙන ගත් බවත් රජතුමාට කීවා. 

රජතුමා තාපසවරු එනතෙක් වෙහෙස නිවා ගෙන ගිරවා එක්ක සතුටින් කාලය ගත කෙරුවා. තාපසවරු පැමිණියාට පස්සෙ රජතුමා මේ කතාවේ ඇත්ත විස්තරය පැහදිළිවම දැන ගත්තා. 


මේ කතාවෙන් කියවෙන්නෙ අපි කවදාවත්ම නරක අය ආශ්‍රය කරන්න හොඳ නෑ. අපි නරක අය ආශ්‍රය කලාම අපිත් නරක අය වෙනවා. මොකද ඒ නරක ගති ඉබේටම අපිටත් පුරුදු වෙනවා. අපි නිතරම හොඳ යහළුවන් ආශ්‍රය කරන්න ඕනෙ. ගුණවත් අයම ඇසුරු කරන්න ඕනෙ. හොඳ ගතිගුණ පුරුදු වෙන්නෙ එතකොටයි. ඒ නිසා අපි නිතරම හොඳ අයවම ඇසුරු කරන්න ඕනෙ. 

පුතාල , දුවල හැමටම තෙරුවන් සරණයි!. 

16 comments:

  1. දරුවන්ට ගැලපෙන විදියට ලියල තියෙනවා. ඇත්තටම වටිනවා.. ස්තුතියි. පොඩි එකාට කියවන්න දෙන්න ඕන

    ReplyDelete
  2. නන්දිවිසාල ජාතකයට කමෙන්ටුවක් දමාපු හැමෝටම ස්තූතියි!. මේ කතාව සෙන්නා මාමා කියල තියෙනවා වගේ දරුවන් කියවනවාද කියල දන්නෙ නෑ. මේ නැන්දල මාමලා තමන්ගෙ කුඩා දරුවන්ට මොහොතක් වෙලාව අරන් මේ කතා කියල දෙනවා නම් හුඟාක් වටිනවා. අද දරුවන් කියවන්න ටිකක් කම්මැලියි කියල මටත් හිතෙනවා. සමහර අයට භාෂා ප්‍රශ්ණයකුත් තියෙනවා නෙ. රටවල් වල ඉන්න බින්දි නැන්දා වගේ අයගෙ දරුවන්ට.

    ReplyDelete
  3. ගොඩාක් ස්තූතියි දේශක තුමා මුළින්ම ආවට. දරුවට කියල දෙන්න. හැම දරුවෙක්ම යහපත් ගතිපුරුදු වෙනවා නම් ඉදිරිය හයපත් වේවි.

    ReplyDelete
  4. දරුවන්ගේ අවධානයට යොමු කිරීමට මහ ඇත්තන්ගේ සිත් යොමු වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සිරා මල්ලි. අළුත් ජීවිතේ සතුටින් කරදරයක් නැතිව ගෙවෙනවා කියා හිතනවා.

      Delete
  5. අපේ ජාතක කතා දරැවන්ට පමණක් නොව වැඩිහිටියන්ටත් ආදර්ශමත්. වැඩිහිටියන් ට මේව යළි යළිත් කියා දීමේ කාලය එළැඹ ඇතැයි සිතේ.වැඩිහිටියෝ හරියට ජීවත් වෙන්න පුරැදුවෙච්චදාට අපිට දරැවො හදා ගන්න අමාරැ වෙන්නේ නෑ. චන්දි කරන මේ මෙහෙවර ඇත්තෙන්ම සමාජ මෙහෙවරක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! තරු. ඔයා කියන දේ ඇත්ත. අද ඇල්කෙමි මල්ලි පරිසරය සුරැකීමේ වගකීම ගැන ලිපියක් ලියා තිබුනා. මේ දේ දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙන්න ඕනෑ. දෙමාපියන් වැරදි දේ කර කර දරුවන්ට හරියට කරන්න කියල දීලා වැඩක් නෑ නේ තරු.

      Delete
  6. අපේ දෙන්නගේ ආසම කතාවක් මේක ..ඉස්සර හැමදාම නිදා ගන්න කලින් කතාවක් කියන්න ඕන . දැන් නම් එගොල්ලම පොත් කියෝ ගන්න නිසා ලේසියි . කතන්දර වලින් කෙලින් කියන්න බැරි හුඟක් දේවල් කියන්න පුළුවන් . ළමයින්ට හැකිතරම් කතන්දර කියා දෙන්න . මන් නම් ඒවායේ ප්‍රතිපල දැන් දකිනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! බින්දි කමෙන්ට් දෙකටම. මාත් මේ කතා කලාව අත්දැකල තියෙනවා. අපේ පුතාලට මම මේ දේවල් දුන්නෙම කතා කියාල. දන්නවනෙ කොල්ලො කෙල්ලො වගේ නෙමෙයි. දඩබ්බරයි. අදටත් කොල කෑල්ලක්වත් බිම නොදා බෑගයේ දමාගෙන එන්නෙ මේ නිසයි කියල හිතනවා.

      Delete
  7. බ්ලොග් එක පාලුවට යන්න නොදී බලාගන්නවාට අක්කට ස්තුතියි

    ReplyDelete
  8. වැඩි හිටියන්ට පමණක් නොව දරුවන්ටත් උරුම වූ අන්තර්ජාල අවකාශයේ පංචිම ඉඩ හොඳම විසියට දරුවන්ට පමණක් නෙවෙයි වැඩිහිටි අපටත් .ගිරාපෝතක කතා වස්තුව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දයා මල්ලි. ඔව් සමහර වැඩිහිටියො දරුවන්ට කතා කරන හැටි දැක්කාම කල කිරෙනවා. ඒ වාගෙම තමා සේවකයින්ට. මේ දේවල් අපි අපිම හදා ගන්න ඕනෙ කාලය ඇවිත්. යහපත් වචන සමාජයට ආභරණයක්.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. wow.. Niyamayi...!!!
    Vidula Children's Radio - SLBC

    ReplyDelete
  11. ලස්සනට තියෙනවා

    ReplyDelete
  12. ලස්සනට තියෙනවා

    ReplyDelete