දොරකඩ මී අඹ ගහේ
ටිං ටිං නාදය ඇහේ
අඹ පැණි බිමටම වැහේ
ගෙනදෙයි දිවගට රහේ
කොවුලගෙ ගී නාදෙන
රස පිරි මිහිරක් දෙන
හදවත් හැම පුබුදන
අවුරුදු සිරි බල මැන
එරබුදු මල් රතු පාටයි
හැමතැන මිහිරක් ඇතිවෙයි
පරිසරයත් පින් පාටයි
අවුරුදු සිරියෙන් ඇළලෙයි
ගේ දොර සුණු පිරියමින්
අළුත් බවක් ගෙන දෙමින්
නව පිළියෙන් සැරසෙමින්
අවුරුදු කුමරුනි වඩින්
කැවුම් කොකිස් මුං අළුවා
අතිරස කැවිලිත් හැදුවා
කෙසෙල් කැනත් ගෙහි ඉදුවා
අවුරුද්දට සැරසෙනවා
ඩොං පට ඩොං රතිඤ්ඤා
නාදෙන් ගුම් දෙවන්නා
රබන් සුරල් වැයෙන්නා
අවුරුදු සිරි කියන්නා
හෙළ සිරිතට අනුව යමින්
ගෙවෙනා අවුරුද්ද තුලින්
කුල දෙවියන් නමදින්නට
පන්සල් යනවා
දෙමාපියන් මුල් කොට
සිරිත් විරිත් කැටිකොට
වැඩකර සුබ නැකතට
සැරසෙමු අවුරුද්දට
කලට වෙලාවට හරියට
ලිප ගිනි මොලවා නැකතට
ගිතෙලින් හා හකුරු මිශ්‍ර
කිරිබත පිසුවා
මුළු ගමටම සිරියාවයි
මගුල් ගෙයක සිරි උසුලයි
මව්පිය හා දූ දරුවන්
අහර බුදිනවා
කැවුම් කොකිස් මුං අලුවා
අතිරස හා රස බැලුවා
ගනුදෙනු අවසන් කරමින්
ගමටම අවුරුදු බෙදුවා
මව්පිය වැඩිහිටියන් හට
බුලත් හුරුළු දී කදිමට
තමන් කෙරූ පෙර වරදට
සමා යදිනවා
හැම දෙනාම රොක්වෙලා
දවසේ සෙල්ලම් කලා
සතුටින් පිරි අවුරුද්දේ
දිනක් ගත කලා
හිසතෙල් ගා නිමවීලා
රැකියාවට පිටත් වෙලා
නව අවුරුදු සිරිත් විරිත්
එයින් නිමකලා
අවූරුදු ආවා
ReplyDeleteඅපි ගෙදර ගියා
අවුරුදු කෑවා
අයෙත් වැඩට ගියා.
හොඳටම අවුරුද්ද ගැන කියවෙන කවි පෙළක් . මල්මිට සුබ පැතුම්
ReplyDeleteඅසරණයා
ReplyDeleteස්තුතියි අදහස් දැක්වූවාට
බින්දි ,
ඔයාටත් සුභම සුභ සිංහල අළුත් අවුරුද්දක් වේවා!!!!
පදපේලි අතරින් ගමේ ගිහින් අවුරුදු සිරිය වින්දෙමි.
ReplyDeleteඅවුරුදු සුවඳ පිරි කවි තෑග්ගට බොහෝම ස්තුතියි මල්මි, ජය.