හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Saturday, August 4, 2012

මේරිගේ නුවණ


එකමත් එක ඈත පිටිසර ගමක හිටියා සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි.  මේ දෙන්නාට හිටියා ලස්සනම ලස්සන පුංචි මිනිපිරියෙක්.  හරියටම මේක කියවන ඔයාලා වගේම ලස්සනයි.  එයාගේ නම තමයි මේරි. 

මේ තුන්දෙනා බොහෝම සතුටින් තමයි කාලය ගතකලේ.  ඔහොම ඉන්නකොට දවසක්දා මේ පුංචි මේරිගේ යාළුවෝ දෙන්නෙක් මේරිට අඩගැහුවා හතු කඩන්න යන්න එන්න කියලා.  කැලෑව තිබුනේ මේරිගේ ගම කිට්ටුවට වෙන්නමයි.  ඉතිං මේරි ඇවිත් කැලෑවේ හතු කඩන්න යන්න ආච්චිගෙනුයි සීයා ගෙනුයි ඇහුවා. 

“මං මගේ යාළුවෝ එක්ක හතු කඩන්න කැලේට යන්නද සීයේ?
“ගියාට නම් කමක් නැහැ.  ඒත් පුතේ පාර වැරදුනොත් එහෙම ගෙදර එන්න ලැබෙන්නේ නැහැ.  ඒ නිසා කැලේදි බොහෝම කල්පනාවෙන් ඉන්න ඕනේ.  ඒ විතරක් නෙවෙයි.  නිතරම යාළුවොත් එක්කම ඉන්න ඕනේ.    සීයයි ආච්චියි දෙන්නම මේරිට කිවුවා.

ඉතිං මේරි යාළුවොත් එක්ක කැලේට රිංගුවා හතු කඩන්න.  කවුරුත් පදුරු අතරෙයි ගස් අතරෙයි හතු කඩන්න ඇවිද්දා.  දම් පදුරු වටේ ඇවිද ඇවිද පුංචි මේරි ඒවායේ පුංචි පුංචි දම් ගෙඩි කමින් කැලේ ඇතුලටම ගියා.  ඒයාට දම් ගෙඩි වල මතකය විතරයි තිබුනේ. යාළුවන්ව අමතක වුනා.  දන්නෙම නැතිව කැලේ හුගාක් දුරට ගියා

ටිකක් දුර ගියාට පස්සේ තමයි එයාට යාළුවන්ව මතක් වුනේ.  ඉතිං එයා බොහෝම කලබලයෙන් වටපිට බලන්න පටන් ගත්තා.  අපොයි දෙයියනේ....!!!!! යාළුවන් එක්කෙනෙක්වත් නැහැනේ පේන්න.  මේරි යාළුවන්ගෙ නම් කිය කිය කතා කළා.  ඒත් කාගෙවත් සද්දයක් වත් ඉන්න ලකුණක්වත් නැහැ. 

අනේ ඉතිං අහිංසක පුංචි මේරි අඩ අඩා කැලේ හැම තැනම දුවන්න පටන් ගත්තා.  දැන්නම් එයාගේ හිතට බයත් දැනෙනවා.  ඉතිං මෙහෙම එහෙ මෙහේ ඇවිදිමින් යාළුන්ව හොයන අතරෙ තමයි එයා දැක්කේ පුංචි ගෙයක් තියෙනවා. 

“මෙතන නම් කවුරු හරි ඉන්නවා ඇති.....පුංචි මේරිට හිතුනා.  ඒත් කිසිම කඩහඩක්වත් ඇහෙන්නේ නම් නැහැ.  ඉතින් එයා ගේ ළගටම ගිහින්...
“ගෙදර කවුද?   ගෙදර කවුද?  ඒත් කිසිම කෙනෙකුගෙන් උත්තරයක් නැහැ.

මේරි දොරට තට්ටු කළා.  ඒත් කිසිම කෙනෙක් ඉන්න බවට ලකුණක් වත් නැහැ.  එයා දොර තල්ලු කරගෙන ගේ ඇතුළට ගියා.  වටපිට බලනකොට එයා දැක්කා පුටුවක් තියෙනවා.  මේරිට දැන් හොදටම මහන්සියි, බඩගිනියි.  ඒ මදිවට හිතට හරිම බයයි.  එයා අර පුටුවෙන් වාඩිවෙලා කල්පනා කරන්නට වුනා.

“මොකද මේ ගෙදර කවුරුවත් නැත්තේ? එයාට හිතාගන්න බැරිවුනා.  අනේ ඉතින් මහන්සියටම එයාට ටික වෙලාවකින් පුටුව උඩම නින්ද ගියා. 

පුංචි මේරි නොදන්නවා වුනාට මේ ගෙදර ජීවත් වෙන කෙනෙක් හිටියා.  ඒයා ඒ වෙලාවේ කැලේට ගිහින් දඩයමක් හොයාගන්න.  ඉතින් දන්නවද මේ ගෙදර ජීවත් වෙන්නේ කවුද කියලා.  ගෙදර අයිතිකාරයා යොධ වලහෙක්.  ඉතින් මේ තඩි වලස් රාළ ගෙදර ආවේ හොදටම හවස් වෙලානේ.  එයා පුංචි මේරිව දැකලා හොදටම සතුටු වුනා. 


එයා පුංචි මේරි ඇහැරෙනකල් සද්ද නැතුව බලාගෙන හිටියා.  මට කෑම හොයන්න යන්නයි ගෙදර දොරේ වැඩ පල කරන්නයි හරිම අමාරුයි.  ඒ නිසා මේ පුංචි ළමයාව මගේ ගෙදර වැඩ ටික  කරගන්න තියාගන්න ඕන....මේරි දිහා බලාගෙන වලස් රාළ හිතුවා.

ටික වෙලාවකින් මේරිට ඇහැරුනා.  ඈ වලස් රාළව දැක්ක ගමන් හොදටම බය වුනා.  කෑ ගහන්නත් ලෑස්ති වුනා.  ඒත් වලස් රාළ මේරිට කලින් කතාව පටන් ගත්තා.

“මගෙන් මේ පුංචි ළමයට කිසිම කරදරයක් වෙන්නේ නැහැ.  හැබැයි අද ඉදලා ඔය ළමයා මගේ ගෙදරට වෙලා ඉන්න ඕනේ.  මගේ කෑම බීම ලෑස්ති කරලා දෙන්න ඕන.  ඹයා මගේ ගෙදර පිරිසිදු කරන්න ඕන.  මේ තියෙන හැම දෙයක්ම හොදින් කෙරෙන්න ඕන.  තේරුනා නේද ඔය ළමයට. 

අනේ ඉතිං මේරිට හරිම දුකයි.  බයයි.  එයා හුගාක් වෙලා ඇඩුවා....ඇඩුවා.....ඇඩුවා.....දැන් ඉතින් මක් කරන්නද? කොහොමද මම දැන් මෙතින්න යන්නේ ඇය කල්පනා කරන්නට වුනා.  ඒත් ඉතිං වෙන කරන්න දෙයක් නැති නිසා මේරි වලස්රාළගේ ගෙදර වැඩපල කරලා දෙන්න තීරණය කලා.

ඔන්න ඉතිං පහුවෙනිදත් උදෙ වලස් රාළ නැගිටලා කැලේට යන්න ලෑස්ති වුනා.  එයා මේරිට කතා කරලා කිවුවා,
“මම දැන් කැලේ පැත්තට ටිකක් යන්නයි හදන්නේ.  මම ගෙදර නැති නිසා දොර එහෙම අරින්න එපා.  එළියට යන්නවත් හිතන්න එපා.  මම කියන විදියට හිටියේ නැත්නම් මම ඔය ළමයව කාලා දානවා තේරුනාද?

වලස් රාළගේ ගෝරනාඩුවට මේරි හොදටම බය වුනා.  ඇය ඔළුව වනලා පොරොන්දු වුනා.  කියන දෙයක් කරලා දෙන්නම් කියලා.  වෙන ඉතින් මොනවා කරන්නද? නේද?  පෙනෙන තෙක් මානෙක ගෙයක් දොරක් නැහැ.. හැම තැනම ගස් කොළන් විතරමයි.  සතුන්ගේ සද්ද විතරමයි ඇහෙන්නේ.  ඊට අමතරව සමහර වෙලාවට හෝ හෝ ගාලා හුළං හමන සද්දෙත් ඇහෙනවා.  මේරිට ගෙදර තියෙන පැත්ත ගැන නිකමටවත් හිතාගන්න බැහැ.  කොහොමටත් එයා බයවුනා එළියට බහින්න.  මොකද ආපහු පාර වැරදිලා නපුරු සතුන්ගේ ගොදුරක් වෙන්නත් ඉඩ තියෙන නිසා.

ඉතින් එදා හැන්දෑවෙ වලස් රාළ ගෙදර ආවා.  මේරි වලස් රාළට ඉතාමත් ආදරෙන් සැලකුවා.  ඉන්පස්සේ කතා කරලා කිවුවා,
“වලස් මාමේ අනේ මට එක දවසකට ගෙදර ගිහිල්ලා එන්න දෙන්නකෝ. මගේ සීයයි, ආච්චියි බලන්න මං ගොඩාක් ආසයි.  ඒ ගොල්ලන්ට කන්න කැවුම් ටිකක් හදලා අරන් යන්නත් ආසයි..... මම පහුවෙනිදාටම ආපහු එනවා.  කියලා.

“අපෝ බැහැ, බැහැ.  ඒකට නම් කොහොමටවත් ඉඩක් දෙන්න බැහැ.  මේරි මට කැවුම් හදලා දෙන්න මං ආච්චිටයි, සීයාටයි ඒ කැවුම් ගෙනිහින් දෙන්නම්.  වලස් රාළ කිවුවා.  පුංචි මේරිට වුවමනා වුනෙත් මේ ටික අහගන්නම තමයි. 

ඉතිං පුංචි මේරි වලස් රාළට පේන්න කැවුම් හැදුවා.  වලස් රාළ ගෙනැත් තිබුන මී වද වගයකුත් කැන්ද කොළ වලින් එතුවා.  එතකොට කැවුම්, මිවද, ඒවගේම පලතුරු දාන්නත් වලස් රාළ මේරිට ටිකක් ලොකු පෙට්ටියක් හොයලා දුන්නා.  මේරි ඒ පෙට්ටියේ කෑම ජාති දමන්න සූදානම් වෙලා වලස් රාළට මෙහෙමත් කිවුවා.


“ඔන්න වලස් මාමේ මේ පෙට්ට්යේ අහුරන හැම කෑම ජාතියක්ම මගේ සීයටයි ආච්චිටයි ලැබෙන්න ඕනේ.  අතරමගදී වලස් මාමා මේක ඇරලා මොනවත් කන්න එහෙම එපා තේරුණා නේද වලස් මාමේ...????

“අපෝ පිස්සුද? මං එහෙම කන්නේ නැහැ.  මම මේව්වට අතවත් තියන්නේ නැහැ.  වලස් රාළ දිවුරලා පොරොන්දු වුනා.

“ඔන්න මම ගහක් උඩට නැගලා වලස් මාම යන දිහාව බලාගෙන ඉන්නවා.  මාමා පොරොන්දු කඩාවිද කියලා.  මේරි වලස් රාළට කිවුවා. 

එහෙම කියලා මේරි පෙට්ටියට කෑම වර්ග අහුරන්න පටන් ගත්තා.  ඒ අතරෙම මේරි වලස් රාළට කතා කරලා කිවුවා. 
“වලස් මාමේ මිදුලට බැහැලා බලන්නකො වැස්ස වහින්න එනවද කියලා.....වහිනවා නම් යන්න හොද නැහැ.  මොකද එතකොට මාම විතරක් නෙවෙයි මේ කෑමත් අපරාදේ තෙමෙයිනේ.  මම මහන්සි වෙලා හදපුවා....!!!!!

ඉතින් වලස් රාළ එළියට ගියා වහිනවද බලන්න.  මේරි ඉක්මනින්ම පෙට්ටිය ඇතුලට පැනගත්තා.  කැවුම් පිගාන ඔළුව උඩින් තියාගත්තා.  ඉන්පස්සේ පෙට්ටියේ පියන වැහුවා.  දැන් හරි!!!!!

වලස් රාළ ගෙට ගොඩවෙලා පෙට්ටියත් කරේ තියාගෙන එළියට බැස්සා.

බිම් මල් පාත්ති අතරින්, පුංචි පදුරු අස්සෙන් අඩිය තිය තියා වලස් රාළ මේරිගේ සීයයි ආච්චියි ඉන්න ගමට යන්න පිටත් වුනා.  කදු නගිමින්, කදු බහිමින් වළවල්, ඇළ , දිය ඇළි පහුකරගෙන දිගටම යනවා.  ඔන්න වලස් රාළට දැන්නම් හොදටහ මහන්සියි.  ඒ මදිවට කරේ තියාගෙන යන පෙට්ටිය හොදටම බරයි.  බඩගින්නකුත් තියෙනවා තදේටම.  වලස් රාළ ගහක් මුල වාඩිවුනා. 

“අපොයි දෙයියනේ මෙහෙම යන්න ගියොත් මාව කලන්තේ දාලා වැටෙයි.  මගේ තුනටියත් කැඩෙයි.  නොකා හිටියොත් මාව බඩගින්නෙම මැරිලා යයි.  !!!

හැබැයි මේරි දන්නවා දැන් වෙන්න යන වැඩේ.  එයා පෙට්ටියේ පියන ටිකක් උස්සලා මෙහෙම කියනවා.

“කැම බදුන බිම දාන්න එපා....
මේරිට වුන පොරොන්දු කඩන්න එපා...!!!
ආච්චිටයි සීයටයි ගෙනියන දේ කන්න එපා!!!!
ඒ ගැන හිතන්නවත් යන්න එපා!!!!!

අම්මෝ මේ මේරි නම් පුදුම ළමයෙක් තමයි.  දැක්කා නේද? එයා ගහක් උඩට නැගලා අර කිවුව විදියටම බලාගෙන ඉන්නවා වගෙයි.  නැත්නම් කොහොමද මම මොනවා කරනවාද කියලා දන්නේ. 

ඉතින් වලස් රාළ මොකද දන්නවද කලේ.  එයා පෙට්ටියත් ආපහු කරේ තියාගෙන ගමන ආරම්භ කලා.  ඒත් ඉතින් තව ටික දුරක් යනකොට ආයෙත් එයාට බඩගින්නයි මහන්සියයි දැනෙන්න පටන් ගත්තා.  කොහොමටත් වලහා කියන්නේ කඩිසර සතෙක් නෙවෙයිනේ.  වලහා බොහොම කම්මැලි සතෙක්.  එයා ආපහු පෙට්ටිය බිමින් තිබ්බා.  නැවතත් මෙහෙම කියන්න පටන් ගත්තා.

“අපෝ මේ විදියට ගියොත් මාව බඩගින්නේ මැරෙයි
මගේ තුනටියත් කැඩෙයි.
මාව කලන්තේ දාලා වැටෙයි

මේරි නැවතත් පෙටිටියේ පියන පොඩ්ඩක් ඇරලා කියනවා
“මේරිට දීපු පොරොන්දුව කඩන්න එපා
මේරි බලාගෙන ඉන්නවා!!!!
සීයාට ගෙනියන දේ කන්න එපා
ඒ ගැන හිතන්නවත් එපා....!!!!!

“අපොයි මේ ළමයා එක්ක කිසිම දෙයක් කරන්න බැහැනේ.  හැමදෙයක්ම බලාගෙන ඉන්නවා.  බලන්නකෝ මගේ ලගම ඉදන් කතා කරනවා වගෙයිනේ ඇහෙන්නේ.  එයා කොයිතරම් දක්ෂ දරුවෙක්ද?  මට නම් වෙලාවකට පුදුමත් හිතෙනවා මේරි ගැන.

ඒ පාර නම් වලස් රාළ මහන්සිය ගැන හිතන්නේවත් නැතිවම පෙට්ටියත් කරේ තියාගෙන මේරිලගේ සීයා ඉන්න දිහාවට යන්න පිටත් වුනා.  එයා මේරිලගේ ගෙදරත් සොයා ගත්තා.

මේරිලගේ ගෙදර දොර ගාවට ගිහින් ටක් ටක් ගාලා තට්ටු කලා.  මෙන්න එතකොටම දොර ඇරෙන්නත් කලින් මුළු ගමේම හිටපු බල්ලෝ ටික බුරාගෙන එන්න පටන් ගත්තා.  දෙයියනේ!!!!! මේංං හැම පැත්තෙන්ම බල්ලෝ බුරුතු පිටින් එනවා වලස් රාළව හපන්න.  දැන් නම් එනපොට හොද නැහැ. වලස් රාළට වෙන කරන්න දෙයක් නැහැනේ.  එයා කරේ තියාගෙන හිටපු කැවුම් පෙට්ටිය මේරිලගේ ගෙයි දොර ලගින් තිබ්බා.  එහෙම තියලා එයා බල්ලන්ගෙන් බේරිලා පැනලා දිවුවා.

මේරිගේ සීයයි ආච්චියි දොර ඇරලා බලනකොට කාගෙද පෙට්ටියක් තමන්ගේ ගෙයි දොර ලග තියෙනවා දැක්කා.  ඔන්න එතකොටම මේරි කැවුම් පිගානත් අරගෙන පෙට්ටියෙන් එළියට ආවා.  සීයටයි ආච්චිටයි හරිම සන්තෝෂයි.  එයාලා මේරි නැති දුකෙන් කදුළු සලමිනුයි හිටියේ.  ඉතින් ආච්චි අම්මා දෑත් දිගු කරලා කියනවා.

“දැක්කා නේද අපේ පුංචි මේරිගේ හපන්කම්.  එයා වලහෙක්ටවත් බය නැහැ.  කැලේ අතරමං වෙලා ඉදලා වලහෙක්ගේ කර පිටින්ම ගෙදරත් ආවා.  මේක ඇහුවම ගමේ අය පුදුම වේවි.  නේද සීයේ.  සීයාත් ඔව් කියලා පිළිතුරු දීලා පුංචි මේරිව ඔසවලා දැතට ගත්තා.!!!!



(රුසියන් ජන කතාවක් ඇසුරිනි)

5 comments:

  1. මල්මි, හරීම ලස්සන කතාවක්. මම තාමත් ආසයි රුසියන් ජනකතා වලට. ඒව අපේ හිත්වල පැලපදියම් වෙලා. ලමයින්ට වගේම අපිටත් හරියට රසවිඳින්න පුලුවන් අදටත්.

    ReplyDelete
  2. Chandi

    ස්තුතියි ඔයාට, මේක මමත් පුංචි කාලේ කියවපු කතාවක්. ඒවා ඇත්තටම ලස්සනයි තමයි. එහෙම නොවෙන්න අපිටත් අමතක වෙන්න තිබුනා නේද?

    ReplyDelete
  3. මමත් අදමයි මේ පැත්තේ ගොඩ උනේ. පොඩි උන්ගේ කතාවල් උනත් කියවන්න දේවල් නම් තියෙනවා

    ReplyDelete
  4. ෙම් කතාව කියවන විට දයානන්ද ගුණවර්ධනයන්ෙග් නරි බෑනා කතාව මතකයට නැගුනා.

    ReplyDelete
  5. මාෂා සහ වලහ කියල හඳුන්වන්නෙත් මේ කතාවමයි නේද බින්දි..............

    ReplyDelete