අපි පොඩි කාලේ අහපු ළමා ගීයක් අලුත් වෙලා දැන් පුතාල දුවලත් අහනවා . බුලත් කන්නේ ආච්චිලා සීයලා බව තමයි අපේ හිතේ වැඩිය ඇඳෙන්නේ .
දැන් මේ පුරුද්ද ගොඩක් අඩුයි . අපි පුංචි කාලේ ආච්චිලා සීයලා හරියට බුලත් කෑව. දත් දුර්වල වෙනකොට පුංචි වන්ගෙඩියක කොටලා තමයි බුලත් කෑවේ. බුලත් කන්නේ තනියම නෙමේ . පුවක් හුණු සමග . සමහරු දුන්කොලත් දානවා . දුන්කොල දැම්මම මත් වෙන ගතිය වැඩියි .
මොකටද බුලත් කෑවේ ? බුලත් පුවක් හුණු එක් වුනහම උත්තේජකයක් විදිහට ක්‍රියා කරනවා . පස්සේ ඒක පුරුද්දකට යනවා . තේ , කෝපි බොන එක වගේ .
හැබැයි බුලත් කන්නම විතරක් නෙමේ පාවිච්චි වෙන්නේ . මගුල් ගෙයකට අමුත්තන්ට ආරාධනා කරන්න , දානෙකට වඩින්න ස්වාමින් වහන්සේලාට ආරාධනා කරන්න ,අලුත් අවුරුද්දට වැඩිහිටියන්ට වඳින්න , අලුත් අවුරුද්දේ ගුරුවරුන්ට වඳින්න බුලත් අතක් ඕනෑමයි . ඒ අපේ සංස්කෘතිය .
ඔන්න මන් වියට්නාමෙට ආවම දැක්ක මෙහෙ අයත් බුලත් කනවා . අපේ වගේම හුණු පුවක් එක්ක . මගුල් මරණ වලටත් නැතුවම බැරිලු .
මන් හිතා හිටියේ ලංකාව ඉන්දියාව පකිස්ථානය වගේ දකුණු ආසියාවේ රටවල විතරයි බුලත් පාවිච්චි වෙන්නේ කියල . ඉතින් මේ ගැන ආස වෙලා මට හිතුන ටිකක් බුලත් ගැන සොයා බලන්න .
අපේ රටේ බුලත් ලැබුන හැටි කියන කතන්දරේ හැමෝම දන්නවනේ . නාග ලොවින් නාගයෙක් ගෙන ආවලු . ඒ ගෙන එද්දී කොලේ දෙකට නවල කටින් ගෙන ආ නිසා දෙකෙළවර කඩල තමයි කන්නේ . නයා විෂයිනේ. වියට්නාමේ අයත් දෙකෙළවර කඩල කන්නේ . නුතන පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා බුලත් නැට්ට කෑමට සුදුසු නැහැ කියල .
මෙතනදී එක දෙයක් කියන්න ඕන . පරණ සිරිතක් දැක්කම එක පාරටම අහක නොදා ඒවායේ විද්‍යාත්මක පැත්තක් ඇද්දැයි සොයා බලන එක වැදගත් . පුංචි කාලේ ඉඳලම එහෙම විමසිලි නුවණින් ලෝකය දකින්න පුරුදු වෙන එකින් හරිම රසවත් දේ දැන ගන්න පුළුවන් .
ඉතින් වියට්නාමේත් තියෙනවා බුලත් ගැන ජනකතාවක් .
ඔන්න එකමත් එක කාලෙක වියට්නාමයේ කාවෝ කියන පවුලේ හිටියලු නිවුන් අය්යයි මල්ලියි .Tan සහ Lang ඒ දෙන්නගේ නම් .
දෙන්න ගුරු ගෙදර නැවතිලා ඉගෙනගත්ත . පසුව අය්යා ගුරුතුමාගේ දුවව විවාහ කරගෙන මල්ලිත් එකක ජිවත් වෙනවා . විවාහෙන් පස්සේ අය්යා මල්ලිට තිබුන ආදරේ අඩු වුනායයි මල්ලි කණගාටු වෙනවා . දිනක් පුංචි අමනාපයක් වෙලා මල්ලි ගෙදරින් යනවා .
ඈතට ගිහින් අතරමන් වෙලා මහන්සියට ගඟක් ළඟ විවේක ගන්නවා . එහෙම ඉන්න කොට එයා ගලක් බවට පත් වුණා.
අය්යා බොහොම දුකින් මල්ලිව සොයමින් යද්දී දැක්ක මල්ලි ගලක් වෙලා . එයා දුකින් එතන ගහක් වෙනවා . පසුව එයාගේ බිරිඳ එනවා මෙයාලව සොයන්න . ගහයි ගලයි දැක්කම එයා හොඳටම අඬලා වැලක් වෙනවා . වැලේ කොළ හදවතේ හැඩති වුණා.
ඒ වැල තමයි බුලත් . ගල තමයි හුණු . ගහ තමයි පුවක් . ඒ තුන්දෙනා සොයන් ආපු ගමේ අය තිදෙනා වෙනුවෙන් පන්සලක් හැදුවලු . මේ පන්සල් ගැන වෙන දවසක කියා දෙන්නම් .[ වියනාමයේ අපේ වගේ නොවෙයි . බුදු රජාණන් වහන්සේට වෙන් වුන පන්සල් වගේම වෙන වෙන කාරණා වලට ඉදිවුන පන්සලුත් තියෙනවා .]
මෙතනින් ගිහින් පින්තුර ගොඩක් බලන්න
මේ අය කෑමට වගේම මගුල් ගෙවල් වලදී බුලත් ගන්නවා . බුලත් කොළය හරියටම සමාන කොටස් දෙකකට බෙදන්න හැකියි . විවාහ වෙන යුවල ඒවගේම ගැලපෙන අය විය යුතුයි කියන සංකේතයක් විදිහටලු බුලත් ගන්නේ .
අපේ රටේ වගේම මෙහෙත් බුලත් කෑම නම් අඩු වෙලා . බුලත් සැපීම මුඛ සෞඛ්‍යට හානිකර බව දැන් හැමෝම දන්නවනේ . අනික බුලත් කාල දත් වල කහට බැඳෙන එකට තරුණ අය අකමැතියි .
ඉතින් මන් හිතුවා තවත් ටිකක් මේ ගැන සොයල බලන්න . වියට්නාමේ විතරද නැහැ මේ කලාපයේ චීනය , තායිවානය , කම්බෝජියාව , පිලිපීනය ,තායිලන්තය , ලාඕසය , මියන්මාරය වගේ රටවල බුලත් කනවා වගේම සංස්කෘතික අංගයක් .
පුවක් ගෙඩියක් .
ඉන්දුනීසියාවේ බාලි දුපතේ ගිරයක් . බලන්න අපේ ගිරය වගේමයි
අපේ රටින් පකිස්තානෙට හෙම බුලත් අපනයනය කරනවා . බුලත් කියන්නේ අපේ සුළු අපනයන බෝගයක් .
උතුරු ඉන්දියාවේදී බුලත් විට හඳුන්වන්නේ ''පාන් '' කියලා . සමහර රටවල බුලත් නැතුව පුවක් විතරක් කනවා . මාල දිවයිනේ සිනි තවරපු වේලපු පුවක් හප හප ඉන්න අය දකින්න පුළුවන් .
බුලත් ඇයි හොඳ නැත්තේ . ඇත්තටම පුවක් තමයි වඩා නරක කියල ඔප්පු කරලා තියෙන්නේ . හුණු දුන්කොල වලින් කරන්නේ පුවක් වල නරක ගතිගුණ වැඩි කරණ එකලු.
බුලත් වල දත් ආරක්ෂා කිරීමේ ගුණයක් තියේලු . පුවක් පණුවන් නසනවලු . ඒ හින්දා ඉස්සර යම් විදිහකට බුලත් කෑමේ හොඳ ප්‍රතිපල තිබිල තියෙනවා . හැබැයි මුඛ පිළිකා කාරකයක් වෙච්ච නිසා පුරුද්දක් වශයෙන් බුලත් කෑමට ඇබ්බැහි වීම නරකයි . අනික දන්ත සෞඛ්‍ය රැක ගන්න දත් බුරුසු වැනි දේ ඇති නිසා බුලත් නොකෑවට කමක් නැහැනේ . පණු අමාරු වලින් ආරක්ෂා වෙන්නත් අපිට යහපත් සෞඛ්‍ය පුරුදු වලින් පුළුවන් .
http://en.wikipedia.org/wiki/Areca_nut
මේ සබැඳියෙන් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්.
ප. ලි.
මන් කැමතියි මේ වගේ ලිපියක් කියෙව්වම ඔයාලත් මේ ගැන දන්නා දේවල් නැත්නම් හිතෙන දේවල් පහලින් ලියනවා නම් . බ්ලොග් එකක් කියවනවා නම් සිංහලෙන් ටයිප් කරණ එක හරි ඉංග්‍රීසියෙන් ලියන එක හරි එච්චර අමාරු වැඩක් නෙමේ . මේ පුන්චිත්තට ලියන අපි හැමෝම කැමතියි ඔයාල සක්‍රියව මේකට සහභාගී වෙනවනම් .
නිකන්ම පත්තරයක් වගේ කියවීමට වඩා අපිට සංවාදයක් ඇති කළ හැකියි මෙතන . ලිපියක් තවත් පෝෂණය වෙන්නේ එතකොටයි . වැඩිපුර හිතන්න ප්‍රශ්න කරන්න පුරුදු වුනොත් තමයි හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ . ඒ වගේම අදාල ලින්ක් ඔස්සේ ගිහින් වැඩිපුර කියවනවා නම් හොඳයි වෙලාව ඇති විදිහට .
ඒ වගේම නැන්දලා මාමලා අපේ ලිපි වල ව්‍යාකරණ දොසක් හරි වෙන වරදක් හරි දුටුවොත් ඒ ගැන දැනුම් දෙන්න . මේ බ්ලොග් එකට ලියන අපි හැමෝම වගේ කාලෙකට පස්සේ ලියන්න ගත්තේ . වැඩත් බහුල අය . ඉතින් වැරදෙන්න තියෙන ඉඩ වැඩියි . ඒ ගැන සමාවෙලා නිවැරදි කිරීමත් ඒ වගේම වැරැද්ද පිළිගැනීමත් අපේ යුතුකමක් .
මමත් බුලත් කාලා මත් වෙලා අන්තිමට සීනි කාලා තමයි හරි ගියේ.....
ReplyDeleteනාග ලොවේ සිට මිනිහෙක් ඇවිදින් බෙල්ල කැඩිලා ගෙයි
ReplyDeleteතව එක මිනිහෙක් ගහෙන් වැටීලා හතරට පැලිලා ගෙයි
තව එක මිනිහෙක් ගින්නට දාලා වැස්සට තෙමිලා ගෙයි
යන මේ තුන්දෙන සමගි කරන්න මැරිච්ච මිනිහෙක් එයි
මාලදිවයිනේ සීනි තැවරූ පුවක් හැපීම වගේම බොහෝ දකුණු ආසියාතික රටවල බුලත් කෑම වගේම විවිධ රසකාරක යොදා සැකසූ වියළි පුවක් හැපීම අදටත් දකින්න පුළුවන්. එය සුපාරි හැටියට හඳුන්වයි.
ReplyDeleteආසියාතික රටවල වගේම පැපුවා නව ගිනියාව, සොලමන් දූපත් වැනි පැසිපික් සාගරයේ පිහිටි රටවලද බුලත්, පුවක් හැපීම දකින්න පුළුවන් බව අසා ඇත.
තවද අප්‍රිකානුවන් අතර ද පුවක්වලට සමාන හැපීමක් ඇත.
යේමනය රටේ කාත් (khat) කියන පැළෑටියේ කොළ අපේ බුලත් වගේම ප්‍රසිද්ධ විට කෑමකි.
ආදියේ සිට ලොව නන්දෙසින් ඇදී ආ ජනයාගෙන් සමන්විත මැදපෙරදිග ජන සමාජයේ බුලත් විටයේ ඉඳන් හැම ජාතියේම විට හැපීම, පුවක් හැපීම දකින්න පුළුවනි. ඒවායේ ශරීර සෞඛ්‍යයට කරන අහිතකර බලපෑම වගේම වටාපිටාව අපිරිසිදුවීම වැනි හේතුන් නිසා බොහෝ රටවල විට කෑමට තහංචි පැනවී ඇත.
කාත් ගැන වැඩි විස්තර කියවීමට:
http://en.wikipedia.org/wiki/Khat
නැන්දගේ බුලත් පුවක් කතා මතක්වුනහම මට කියන්න හිතුනේ බුලත් එක්ක බැඳුන ජන ජීවිතේ ගැන
ReplyDeleteඉස්සර ගම් ගෙවල්වල නිතරම බුලත් පුවක් ඇතුලු අනික් අඩුවැඩිය එක්ක ඉලත්තට්ටුව පුරවල තියෙන එක සිරිතක් .ඒක හැම කෙනෙකුටම ගෙදරට ඇවිත් තියෙන විදියකට විඩක් කාල , තේකක් බීල යන්න ආරාධනාවක් වගේ . අදත් ඈත පලාත්වල ගම ගෙවල් වල ඔය දේ මම දැකල තියෙනවා .තාමත් කුඹුරු ගොවිතැන් කාලෙට බුලත් මල්ලක් යවන එක සිරිතක් . බුලත් කන්න පාවිච්චිකරන ගිරය , හුණු කිල්ලෝටය , බුලත් මල්ල , ඉලත්තට්ටු , බුලත් කොටන වංගෙඩි එහෙම බොහොම කලාත්මක විදියට නිමවන්න අපේ පැරැන්නො උත්සාහ කල වග පේනවා. ජාතික කෞතුකාගාරේ මේව වල එකතුවක් තියෙනවා .
නැන්දට මතකද මන්දා සාරවිට ?.ඉස්සර සාර විට පිංකම් පොලවල් වල , එහෙම වික්කා .ඒක ටිකක් සරුවට හදාපු බුලත්විටක් ,කරදමුංගු , කරාබුනැටි , සාදික්කා , වසාවාසි එහෙම දාලා , අර සින්දුවකුත් තියෙන්නෙ "සිරි සාර බුලත් විට කාල බලන්' කියලා .උතුරු ඉන්දියාවේ පාන් කියන ඒවත් ටිකක් සාරවිටට සමානයි .
ඉස්සර ගම් වල කෘෂි ආර්ථික රටාව එක්ක පැරන්නො ප්‍රාර්ථනාකලේ 'බත බුලතින් සරුසාර " වෙන්න කියලා .ඒකෙන් පේනවා බුලත් කියන්නේ සෞභාග්‍යයේ සංකේතයක් වග .
බුලත් එක්ක බැඳුන චාරිත්‍ර බැලුවොත් පිරිත් කියන්න හාමුදුරුවන්ට ආරාධනා කරන්නේ බුලත් පුවක් ආදියෙන් සමන්විත දැහැත් වට්ටියක් පිලිගන්වලා.මංගල ආරාධනා කරන්න තාමත් ආරාධනා පත් එක්ක බුලත් ගෙනියනවා . වැඩිහිටියන්ට , ගුරුවරුන්ට බුලත් දීලා වඳින සිරිතක් තියෙනවනේ . ඒවගේ දේ වලට බුලත් අතක් ගන්නවා . බුලත් අතක කොල 40 ක් අඩුක්කු වෙලා තියෙන්න ඕනේ .එකට බුලත් හුරුල්ල කියලත් කියනවා.බුලත් අතක් දීල වඳිනකොට නියම ක්‍රමය බුලත් අතේ නැටි පැත්ත අපි වඳින වැඩිහිටිය දිහාවට හරවලා පිළිගන්වලා දණ බිම තියලා අත් දොහොත් මුදුන් දීලා නලලත් බිම තියලා වඳින එක . ඉස්සර මගුල් ගෙවල් වල මනමාලයාගේ පැත්තෙන් මංගල බතට ආව අමුත්තො ගාන කියන්නේ ඒ අමුත්තන් හා සමාන බුලත් කොල ගානක් මනමාලියගේ දෙමවුපියන්ට පිලිගන්නලා . අලුත් අවුරුදු නැකතට ගණුදෙණු කරලා අම්මලා තාත්තලා අපිට සල්ලි දෙනව මතකද? එහෙම අවුරුදු තුටු පඬුරු දෙන්නෙත් බුලත් කොලේ ඔතලා .ඒ වගේම බාර හාර පුද පූජා වගේ දෙවල් වලදිත් බුලත් නැතුවම බැරි දෙයක් .ගමේ වෙද මහත්තයා ගාවට එහෙම යද්දිත් බුලත් අතක් අරන් යන සිරිතක් තිබුනා .ඒ අයට කල ගෙවීමක් තිබුනා නම් ඒක පිලිගැන්නුවෙත් බුලත් අතක් උඩ තියලා ගෞරවයෙන් .
ඔය හේතු නිසා ගම ගෙවල් වල නිතර බුලත් වැලක් දෙකක් වවාගෙන තිබුණා .මට මතකයි ඉස්සර අම්මලා අපිට බණිනව ඔලුවෙ තෙල් ගාගෙන බුලත් වැලෙන් බුලත් කඩන්න යන්න එපා කියල .එතකොට බුලත් වැලේ වැඩීම බාල වෙනවලු.
දැන් කාලෙ බුලත් සුලු අපනයන භෝගයක් .ගම්පහ දිස්ත්‍රිකේ සාර්ථකව අපනයනයට බුලත් වගා කරනවා .
ඔහොම බැලුවම බුලත් කියන්නෙ අපේ ආචාර විදි හා සංස්කෘතිය එක්ක බැඳුන දෙයක් .නමුත් බුලත් කෑමෙන් සෞඛ්‍ය හානි තියෙනවා .
@ ඔබ නොදුටු ලොවක්
ReplyDeleteදුම්කොළ දාලද කෑවේ.
@ පැතුම් ..
1. බුලත්
2. පුවක්
3.හුණු
4.දුම්කොළ
ළමයි තෝරන්නේ නැති එකේ ඔන්න මන් වත් තේරුවා .
@ ගල් මල් ..ටි ජි ...
බොහොම ස්තුතියි විස්තර වලට .
ආයිත් අහනවා ලොකු කෑල්ලල් කෑවා.....එකෙක් කිව්වා බුලත් කෙල රතු වෙන්නේ වැඩියෙන් දුංකල කෑවම කියලා......වැඩියෙන්ම ආසාව තිබ්බේ අර රතු පාටට කෙල ගහන්න...සතියක් විතර යනකං සැර ජාති කන්න බැරි උනා...කට හම ගිහිල්ලා.....
ReplyDeleteබින්දි නැන්ද්ගේ විස්තරය හරිම කදිමයි. ගොඩක් නොදන්න විස්තරත් දැන ගත්තා. ඩීන් මාමා ගේ විස්තරයත්, ටී. ජී මාමාගේ විස්තරයත් හරිම වැදගත්. ස්තූතියි හැම දෙනාටම. අපේ රටේ සංස්කෘතික වශයෙන් බුලත් වලට හරිම වැදගත් කමක් හිමි වෙනවා.
ReplyDelete@Chandi
ReplyDeleteකමෙන්ට් දාල තියෙන TG නැන්දකෙනෙක් කියලයි අපිටනම් ආරංචි . :)
නැන්දල මාමල එකතුවෙලා පුන්චිත්තව රස්යෙන්,දැනුමෙන් පුරවල..... ස්තූත්යි හැමෝටම.
ReplyDeleteබුලත් ගැන කතන්දරය අහලා තිබුණත් අදයි දැනගත්තෙ ඒ වියට්නාම් ජනකතාවක් වග.. :) දැනුම බෙදාගත්ත හැමදෙනාටම බොහොමත්ම තුති...!!! :)
ReplyDelete