හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Thursday, April 2, 2015

අවුරුදු ආවෝ...


අවුරුදු ගී

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් -මේ අවුරුදු කාලෙ හිනාවෙයන් රාලේ
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
.. .. ......

දොං තරිකිට කැත්තදොදොං
පිල වටකර කැත්ත දොදොං
ලමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
ලමා තැල්ල තක ත්යො තාං
කැවුම් කොකිස් තෙලේ බැදෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

මා.. මා.. මාං කිකිළී
දියේ ගොඩේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
ටාං.. ටාං.. ටං.....

ගත්තිංඥා තිංඥා... ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා

අවුරුදු ආවෝ...

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
.. .. ......

දොං තරිකිට කැත්තදොදොං
පිල වටකර කැත්ත දොදොං
ලමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
ලමා තැල්ල තක ත්යො තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

පා.. පා.. පාං කිකිළී
දියේ ගොඩේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
පාං.. පාං.. පං.....

ගත්තිංඥා තිංඥා... ගති ගත ගෝ ගති ගත ගෝ
සිහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසෙන්
අවුරුදු ආවෝ...


'එළුවන් කෑම' ද ගම්දොර ළමා පෙළ යොමුවන ජන ක්රීඩාවකි‍.

මේ වැල මොකදෝ - දම්වැල
මේ වැල මොකදෝ - කිරිවැල     

මේ වැල මොකදෝ - කිඳවැල
මේ වැල මොකදෝ - මදුවැල

උඩින් පනින් - තල්ල කැඩෙයි
යටින් රිංගන් - ති‍ලෙඹාල් ඇනෙයි
මේ පුටු කාගේ - බණ්ඩාරේ
මේ ඇඳ කාගේ - බණ්ඩාරේ

කුරුලු කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැති
ලේන් කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැති
‍ගේ ගොම ගාලා ගත් මගෙ එළුවා - නුඹට කොයින්දෑ මාගේ එළුවා
ඉලපත දීලා ගත් මගෙ එළුවා - නුඹට කොයින්දෑ මාගේ එළුවා

එළුවන් කන්ඩයි මං ආවේ - එළු බෙටි කාපන් සොන්දීරේ
එළුවා කපා අපේ ගෙටයි - ඒ බඩවැල් තොපේ ගෙටයි

බුලත් කොටංඤ්ඤං රලහමි - දෙනවද එළුවා
බුලත් කෙටූවත් රලහමි - නොදෙනෙමි එළුවා
දණින් වැටෙඤ්ඤං රලහාමි - දෙනව ද එළුවා
කොච්චර වැන්දත් රලහාමි - නොදෙනෙමි එළුවා






 ඔංචිලි වාරම් ගී


සිංහල අවුරුදු කාලයේ ඔංචිලි පැදීමේ ක්‍රීඩාව ඉතා
ජනප්‍රිය කාර්යයකි.බාල මහලු තරුණ කවුරුත් මෙම කවි ගායනා කරමින්
මෙම ජනප්‍රිය ක්‍රීඩාව කරනු ලබයි.මෙසේ ගායනා කරන ගී ඔන්චිලි වාරම්
ගී ලෙස හැදින්වේ.      


ඔන්චිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ 
කඩන්න බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ

පදිනා කල විත් වැල් ඔංචිල්ලා
අඳිනා වත තද කර ඇදගල්ලා
පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ල‍ා
සොඳිනා ගී කියමින් පැදපල්ලා
 ඔන්චිල්ලා පැදීම

පුරාණයේ සිටම පැවැත එන ඔන්චිල්ලාව සමඟ බැඳී පවතින ජනප්‍රවාද කීපයක්‌ ඇත. එයින් පැරණිම කතාවට අනුව අසුර නම් තැනැත්තා ඊශ්වර දෙවියන්ට ඇප උපස්‌ථාන කිරීමෙන් සතුටට පත් විය. කාලයක්‌ ගෙවෙන විට ඊශ්වර දෙවියන්ගේ බලසම්පන්න බව නිසාම කිසියම් වරයක්‌ ඉල්ලා ගත යුතු යෑයි සිතුණෙන් අසුරයා විසින් ඊට ගැලපෙන කාලය බලා සිය අදහස ඉදිරිපත් කරන ලදී. අසුරයා පිළිබඳව වූ විශ්වාසය නිසාම ඊශ්වර දෙවියන් වරයක්‌ දීමට කැමැත්ත පළ කළෙන් අසුරයා ඉල්ලා සිටියේ තමා කිසිවෙකුගේ හිසට අත කැබූ විට එම තැනැත්තා අළු වී යන වරමකි. ඊශ්වර දෙවියන් විසින් එම වරම ලබා දුන් තැනදී අසුරයාට එය අත්හදා බැලීමේ ආශාවක්‌ පහළ විය. එය අත්හදා බැලීමට අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තැබූ සැණම ඊශ්වර දෙවියන් ඔහුගෙන් බේරීමට පළා යත්ම එය දුටු විෂ්ණු දෙවියන්ට ඊශ්වර දෙවියන් ගැන දුක සිතුණේය. විෂ්ණු දෙවියන් විසින් අසුරයා යන මග ඔන්චිල්ලාවක්‌ බැඳගෙන ගැහැනු වෙසින් ඔන්චිල්ලා පදිනු දැක අනේ මෙම කාන්තාව මෙසේ සිටින්නේ ඇයි දැයි සිතා නළලට අත ගසා ගත් වනම අසුරයා අළු වී ගියේය 

පත්තිනි දෙවියන් වෙනුවෙන් බාර වී ඔන්චිල්ලා ඉදි කරන බව කියන අතර කූඩු ඔන්චිල්ලා , බඹර ඔන්චිල්ලා, දෙපට ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා, යතුරු ඔන්චිල්ලා , සහ මල් ඔන්චිල්ලා ලෙස ප්‍රභේද ගණනාවකි. සිංහල අවුරුදු කාලයේදී පදිනු ලබන්නේ ලණු ඔන්චිල්ලාවයි. මෙහිදී දෙදෙනෙකුට වාඩි වී සිටිය හැකි අතර දෙන්නෙක්‌ දෙපැත්තේ සිට ඔන්චිල්ලාව පදවනු ලැබේ. 

සිංහල අවුරුදු කාලයේදී කලඑළි බසින ඔන්චිල්ලා පැදීමේදී ගායනා කරන කවි වාරම් ලෙස හැඳින්වේ. 

අත්ත උසං උසං උසං

ජම්බු පොකුරු සිලිං බිලිං

ලොකු අක්‌කේ පදිං පදිං

ජම්බු කඩං බෙදං බෙදං





රබන් වාදනය ප්‍රධාන කොටස්‌ තුනකින් සිදු වේ.

1. රබන් සුරල් වැයීම

රබන් සුරල් වැයීමේදී රබාන වටා හයදෙනෙක්‌ වාඩි වී සිටිති. තිදෙනෙක්‌ රබාන වාදනය කරන අතර ඉතිරි අය වයන පදයේ තාලයට සිය අත්ලෙන් රංගනය ඉදිරිපත් කරයි.

බුලත් බුලත් මම ගත්තා

තුට්‌ටු දෙකට මම වික්‌කා

තුට්‌ටු දෙකට ගත්තු බුලත්

සල්ලි හතට මම වික්‌කා



උඩින් උඩින් වර පෙත්තප්පූ

බිමින් බිමින් වර පෙත්තප්පූ

උඩින් උඩින් වර බිමින් බිමින් වර

කැවුම් කන්න වර පෙත්තප්පූ


2. අත්මාරු කිරීම

රබාන වාදනය කරන විට එකිනෙකාගේ අත්වලට ගසමින් රබාන වාදනය කරන අතර මෙම අවස්‌ථාව සඳහා ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂයම සම්බන්ධ වෙති. එකිනෙකා අතර ගොඩනඟා ගන්නා සංවාදයන්ට අනුව සිදු වෙන වාදනය බෙහෙවින් විනෝදජනක වේ.

රත්තරනින් මුද්ද හොඳයි

ගල් තුනකුත් එක්‌ක

මුද්ද ගන්න කැමැති කෙනා

එනවද මා එක්‌ක

දකුණ හුරුයි

දෝං තාං

වමත හුරුයි දෝං තාං

දකුණ හුරුයි

වමත හුරුයි

දෙකම හුරුයි

දෝං තාං

තාලන්

මෙහිදී මුලින් ගීතයක්‌ ගායනා කරන අතර එයින් අනතුරුව එය රබානෙන් වාදනය කරයි. මුලදී ඉතාම ලයාන්විතව රබන් පදයක්‌ ගයා වාදනය ආරම්භ කරයි. එයින් අනතුරුව ගීතය නොමැතිව වාදනය පමණක්‌ සිදු වේ. ඉතා තරගකාරීව මෙය සිදු කෙරේ. එක්‌ කණ්‌ඩායමක්‌ ගීතයේ පදය ගායනා කරන අතර සෙසු පිරිස පදයට අනුරූප වාදනය ඉදිරිපත් කරයි. තාලන්වලදී ගායනා කරන ගීතයන් අතර

පැත්තක බුදුරුව පැත්තක දෙවිරුව

සෑය රුවින් දිලිතෙයි.

අත්තක සුදු මල්

අත්තක රතු මල්

සෑය රුවින් දිලිතෙයි.

තත් තත් ගිජි කුඳ

රුපියල් සවුදම

ටි ං ගා දොර හරිතෙයි  

පිංතුර හා සමහර සටහන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

දුවල පුතාල නැන්දල මාමලා සැමටම වාසනාවන්ත ජය සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා!

Sunday, March 8, 2015

මොනවද අම්මේ ....................




ගායනය - කිංස්ලි ජයසේකර, ප්‍රිසිලා ඕපාත

ගී පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

මොනවද අම්මේ අකුරු ජාතියක්

මල් පෙති වල කවුදෝ ලියලා

කවුරුද අම්මේ මේවා ලියන්නේ

පාට පාට ඉරි හැඩ ගහලා


පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට

වනන්තරේ හරි වැඩ කෙරෙතී

බෝසත්වරු බණ කතා කියද්දී

වන දෙවඟනො මල් වල ලියතී


මේ වගෙ ලස්සන පාට අපට නෑ

කොතැනින් මේවා ගෙන එන්නේ

කොහොමද අම්මේ මේව කියන්නේ

මට නෑ මොකවත් තේරෙන්නේ


ඉර පායන කොට ඉර බැස යන කොට

පාට වළාකුළු ඇත අහසේ

ඒවායින් මේ මල් පැහැ ගන්වයි

ඒව කෙරෙන්නේ හොර රහසේ


අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ

කිචි බිචි ගා මොනවද කියතී

උන් දන්නව ඇති මේ මල් වල ඇති

පුංචි අකුරු නිතරම බලතී


ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්

කුරුළු ගීත වල රස මතුවේ

එක එක තාලෙට කියන කියන දේ

මල් කොළ වල තව තව ලියැවේ


බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්

පුංචි කුරුල්ලන් ඉගිලෙනවා

සෑමදාම ඇයි මෙහෙම ම නැත්තේ

මල් ද කුරුල්ලන් කොහි යනවා


බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට

කවදත් ඔහොමයි පුතුනි මගේ

මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම

මල් කොළ වලටත් සතුට නැගේ


https://www.youtube.com/watch?

v=I76FWIMrctA

Friday, August 8, 2014

සිරිත් මල්දම 3




අතින් අත බැඳ                            පෙළ
නොයන් මං මාවත්                      වල
තැනින් තැන කඩ                         වල
නොයන් කරුණක් නැතිව කිසි    කල


අතිනත් බැඳ  පාරේ ගමන් කිරීමත් නිකරුනේ කඩපිල් වල ගැවසීමත් හොඳ නෑ. ඒ දේවල් කිරීමෙන් තමයි දරුවන් දුරාචාරයන්ට හුරු වෙන්නෙ.


තැනින් තැන ගෙන්                ගෙට

ගොසින් බලමින්                 වට පිට
අනුන් කන බොන                     විට
ලොබින් නොයිඳින්  නැතත්    කෑමට



තමන්ට කෑමට කිසිවක් නැතත් අනුන් කන බොන ස්ථානවල බලාගෙන ඉන්න හොඳ නෑ.




දනන් නිති                          ගැවසෙන 

තැනින් කුඩ ඉහලා                   ගෙන 
සැරෙන් බස්                          කියමින
ගමන් නොකරන්           උඩඟු විලසින 


සෙනඟ ඉන්න තැන් වලින් කුඩ ඉහලා ගෙන ඒ අයට අවහිර වෙන ලෙස මහ හඬින් කතා කරමින් ගමන් කරන්න නම් හොඳ නෑ.



පාරේ යන එන                      විට 

අයින් වීමෙන්                   දකුනට
දුව පැන දඟ                  නොකොට 
ගමන් කළ යුතුය හැම             විට

පාරේ යන එන විට ඒ මේ අත දුවමින් දඟලමින් නොයා දකුණු පැත්තෙන්ම යන්න ඕනෙ දුවල පුතාල.




යම්කිසි                                    ගෙදරකට 

ගිය කල ඕනෑ                              කමකට
ඔවුන් නොමදැක                             ගෙට
ඇතුල් නොම වන් නොහොබී         සිරිතට


අනුන්ගේ ගෙදරකට ගියාම ඒ අයගේ අවසරයක් නැතිව ඒ ගෙට ඇතුල් වෙන්න එපා. එහෙම කලාම ඒ අය සතුටු වෙන්නෙ නෑ. ඒක හොඳ සිරිතක් නෙමෙයි. 

Sunday, June 29, 2014

ගිරිදත්ත ජාතකය

හුඟක් කාලෙකින් තමයි ඔන්න දුවල පුතාල බලන්න එන්න ලැබුනෙ. එකට අමනාප නැහැනෙ.  අද නැන්ද කියන්නෙ ගිරිදත්ත ජාතකය. 


ඔන්න එක්තරා කාලෙක බරණැස් නුවර සාම කියල රජෙක් හිටියා. ඒ රජතුමාට පාංඩව කියල අශ්වයෙක් හිටියා. අස්සයාව බලාගන්න අස්ගොව්වාගෙ නම තමයි ගිරිදත්ත. අශ්වයාට කටකලියාව එහෙම පළඳවලා සෑදලය එහෙම දාල මේ අස්ගොව්වා අශ්වයාගෙ ඉස්සරහහින් යනවා. ගිරිදත්තගෙ  එක කකුලක්  ටිකක් කොටයි. එයා ඉතින් ඇවිදින්නෙ කොරගගහ. දන්නවනෙ කකුල කොට උනාම ටිකක් නොන්ඩි ගහල තමා ඇවිදින්නෙ. අනේ ඉතින් මේ අශ්වයා හිතුවා මේ අස්ගොව්වා කොර ගහමින් යන්නෙ මට මේ වාගෙ ඇවිදින්න උගන්වන්න කියල එයත් ඒ විදිහට අනුකරණය කරමින් ඇවිදින්න ගත්තා. 

දුවල පුතලත් එහෙම අනුකරණය කරනවනෙ නේද, සමහර වෙලාවට අම්මගෙ අඩි උස සපත්තු එහෙම දාල යන්නෙ, අන්න ඒවාගෙ  මේ අශ්වයාත් එහෙම ඇවිද්දෙ.  

ඉතින් මේ අශ්වයා කොරගහන බව රජතුමාටත් දැන ගන්න ලැබුනා. රජතුමා මහ ඇමති කැදවලා මේ ගැන කියලා මොන ලෙඩක් නිසා මෙසේ කොර ගහනවාද? කියලා සොයා බලන්න නියම කලා. ඉතින් මහ ඇමතිතුමා වෙදදුරාත් සමඟ මේ ගැන විමසා බලන්න කියලා අශ්වගාලට ගියා. මේ අශ්වයාට කිසිම ලෙඩක් නැතිබව වෙදදුරා කීවා.

තව දුරටත් විමසා බලනවිට සියල්ලන්ටම හේතුව තේරුම් ගියා. ඒකට හේතුව තමා අස්ගොව්වා කොර ගහන නිසා අශ්වයාටත් ඒක පුරුදු වූ බව.  මහ ඇමතිත් වෙදදුරුත් රජතුමාට මේ බව දන්වා සිටියා. රජතුමා අස්ගොව්වා ඉවත්කර වෙන අස්ගොව්වෙක් අශ්වයා බලාගන්න යෙදෙව්වා. ටික දවසක් යන කොට අශ්වයා කොරගැසීම නවතා හොඳින් ඇවිදින්න පටන් ගත්තා.


ඔන්න බලන්න දුවේ, පුතේ යම් කෙනෙක් නරක අය ආශ්‍රය කරන කොට ඒ අයට පුරුදු වෙන්නෙ නරක ගතිගුණයි. හොඳ අය ආශ්‍රය කරන කොට ඒ අයට පුරුදු වෙන්නෙ හොඳ ගතිගුණයි. අපිත් දියුණු වෙනකොට නරක ගති තියෙන අය අත්හරල හොඳ ගති තියෙන උත්සාහ වන්ත අය ඇසුරු කරන්න හිතට ගන්න ඕනෙ. 

Thursday, June 27, 2013

පුංචිත්තා: සරභමිග ජාතකය

පුංචිත්තා: සරභමිග ජාතකය: ඉස්සර කාලෙ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා දඩයමට බොහොම කැමතියි. දවසක් පිරිවර සමඟ රජතුමා දඩයමේ ගියා. රජ්ජුරුවෝ මුව...

Sunday, June 23, 2013

සරභමිග ජාතකය


ඉස්සර කාලෙ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා දඩයමට බොහොම කැමතියි. දවසක් පිරිවර සමඟ රජතුමා දඩයමේ ගියා. රජ්ජුරුවෝ මුවෙකුට විද්දා. ඒ වෙලාවේ මුවා පැනලා ගියා. රජතුමාගේ පිරිවර සේනාව රජතුමාට ඔච්චම් කළා. රජතුමාට ලැජ්ජා හිතුනා. ආයෙත් මුවා අල්ලා ගන්න මුවා පසුපසම එළවාගෙන ගියා. රජතුමා පිරිසෙන් මගහැරුනා. මේ දුවන අතරේ රජතුමාව මහා වලකට ඇද වැටුනා. ටික දුරක් ගිහින් මුවා හැරිලා බැලුවා. රජතුමා පේන්න නෑ. ආපසු හැරිලා තමන්ගේ කට්ටිය ඉන්නා පැත්තට එන්න හිතා ගත්තා. මේ එන අතරේ කෙඳිරිලි හඬක් ඇසුනා. රජතුමා වලේ වැටී සිටිනා බව දැක්කා.

  මුවා එතනට පැමිණ මෙහෙම හිතුවා. "මා මරන්න එළවාගෙන ආවත් රජතුමා දැන් අනතුරක වැටිලා ඉන්නෙ. ඒ නිසා මම මඟහැර යන එක සුදුසු නෑ. මම රජතුමාට උදව් විය යුතුයි" . 

"රජතුමනි, බිය වෙන්න එපා. මම ඔබතුමාව බේරා ගන්නම්. මා වලට පැන්න පසුව, ඔබ , මගේ පිට උඩට නඟින්න" කියලා මුවා වලට පැන්නා. 

රජුට පිට දුන් පසු රජතුමා එහි නැඟලා වලෙන් ගොඩට ආවා.

උඩට ආව මුවා වෙහෙස වෙලා හිටිය රජතුමාව පිට උඩ තියාගෙන පිරිස ළඟට ගෙනැවිත් බැස්සුවා. රජතුමා පිරිසත් සමඟ  රාජ මාළිගයට ගියා. එදා පටන් රජතුමා ඒ රටේ මුව දඩයම තහනම් කළා. අනෙක් සතුන්ටත් අභයදානය ලැබුනා. 

රජතුමා නිර්මාංශ වෙලා යහපත් ලෙස රාජ්‍ය පාලනය කළා.  දවසක් රජතුමා ලඟටම ආව මුවෙකුට රජතුමා විද්දේ නෑ. ඒ ගැන පුරෝහිත බමුණා ඇසුවා. ඒ වෙලාවේ තමා වතුර වලෙන් ගොඩ ගත් මුවා ගැන රජතුමා කීවා. මට ඒ උපකාර කල මුවා නිසා මුවන්ට විදින්න හොඳ නැති බව පැවසුවා. රජතුමා අන් අයටත් කළගුණ සැලකීමේ අගය ගැන කියා දුන්නා. රජතුමාගේ හොඳ ගතිගුණ නිසා ඒ රටේ වැසියන් හොඳ ගතිගුණ පුරුදු උනා. රට සමුර්ධිමත් වුණා. 


ඔන්න , දුවේ පුතේ අද පොසොන් පෝය දිනයේ නැන්දා පුතාලට කියා දුන්නෙ, අපිට කෙනෙක් කරදරයක් කලත්, අපි ඒ අයව විපතට දමන්න හොඳ නෑ. කවුරු හරි අපට උපකාරයක් කලාම අපි ඒක අමතක කරන්න හොඳ නෑ. ඒ අය කරදරයක වැටුනාම අපිත් ඒ අයට,  උපකාර කරන්නට ඕනෑ. එතකොට අපි හැමදෙනාම ගුණවත් කම් පුරුදු කරනවා. නරක අයත් හොඳ අතට හැරෙනවා. බලන්නකො මුවා නිසා මුළු රටම හොඳ උනා නෙ.

Friday, June 7, 2013

සත්තිගුම්බ ජාතකය.




ඉන්දියාවේ උත්තර පංචාල නුවර මහ ඉඹුල් කැලයක් තිබුණා. ඒ කැලෑවේ ගිරා පවුලක් වාසය කලා. ඒ ගිරා පවුලේ පුංචි ගිරා පැටවුන් දෙන්නෙක් හිටියා.  දවසක් මහ සුළඟක් ඇවිත් මේ ගිරා කූඩුව ගහ ගෙන ගියා. මේ පැටවුන් දෙන්නාත් හුළඟට අසු වුණා.  එයින් එක් පැටවෙක් හොරුන් වසනා ගම්මානයකට වැටුනා. හොරු ඌව අල්ලා ගෙන හදා වඩා ගත්තා. අනෙක් ගිරා පැටියා තාපස වරුන්ගේ  අසපුවකට වැටුනා. තාපස වරු ඌව ආදරෙන් හදා වඩා ගත්තා. හොරුන් ලඟ වැඩුන ගිරවා නරක වචන කතා කලා. හොර මැරකම් පුරුදු වුනා. තාපසවරුන් ලඟ හැදුන වැඩුන ගිරවා ප්‍රිය වචන කතා කලා. කීකරුව හැදුනා. හොඳ පුරුදු පුහුණු වුණා. 

දවසක් දුවේ, පුතේ, ඒ රටේ රජතුමා දඩයමේ ගියා. රජතුමාට පාර වැරදුනා. හොරු කණ්ඩායම හිටිය කැලයේ ගසක් මුල වෙහෙසට පත් රජතුමා ඉඳගත්තා. හොරුන් ලඟ හැදුන ගිරවා "  මූව අල්ලාපිය, මූට කොටාපිය ,  මූව මරාපිය "  කියල නපුරු කැත වචන වලින් කෑ ගැහුවා. රජතුමා හොඳටම බය වෙලා එතැනින් ගියා. දන්නෙම නැතිව ඊට පස්සෙ තාපසයින්ගේ ආරාමයට ආව. එතන හිටිය හොඳ ගිරවා " එන්න, අසුන්ගන්න, මේ පළතුරු කන්න,ඔබට හුඟක් වෙහෙසද? තාපසවරු කැලයට ගියා. ඉක්මනින්ම ඒවි " කියල බොහොම ආදරෙන් කතා කළා. රජතුමා පුදුම උනා. කලින් ගිරවා කිව්ව දේවල් මේ වෙලාවෙ රජතුමා කිව්වා. එවිට මේ ගුණවත් ගිරාපැටියා ඒ තමාගේ සොහොයුරා බව රජතුමාට කිව්වා. එයා හොරුන් අතට පත් වෙලා නපුරු කම්, නරක වචන  ඉගෙන ගත් බවත් තමන් තාපසයින් ගෙන් යහපත දේ, ප්‍රිය වචන හා හොඳ ගුණධර්ම ඉගෙන ගත් බවත් රජතුමාට කීවා. 

රජතුමා තාපසවරු එනතෙක් වෙහෙස නිවා ගෙන ගිරවා එක්ක සතුටින් කාලය ගත කෙරුවා. තාපසවරු පැමිණියාට පස්සෙ රජතුමා මේ කතාවේ ඇත්ත විස්තරය පැහදිළිවම දැන ගත්තා. 


මේ කතාවෙන් කියවෙන්නෙ අපි කවදාවත්ම නරක අය ආශ්‍රය කරන්න හොඳ නෑ. අපි නරක අය ආශ්‍රය කලාම අපිත් නරක අය වෙනවා. මොකද ඒ නරක ගති ඉබේටම අපිටත් පුරුදු වෙනවා. අපි නිතරම හොඳ යහළුවන් ආශ්‍රය කරන්න ඕනෙ. ගුණවත් අයම ඇසුරු කරන්න ඕනෙ. හොඳ ගතිගුණ පුරුදු වෙන්නෙ එතකොටයි. ඒ නිසා අපි නිතරම හොඳ අයවම ඇසුරු කරන්න ඕනෙ. 

පුතාල , දුවල හැමටම තෙරුවන් සරණයි!.