හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Sunday, July 15, 2012

සිරිත් මල්දම 2


සෙල්ලම් සිතින්                 වත් 
යම් කිසි තරහකින්             වත්
මරණ සිතකින්                   වත් 
සතුන් හට වද දීම නොහොබිත්

තරහට වත් සෙල්ලමට වත් අහිංසක සතුන් හට වද දෙන්න යන්න එපා.



නොමින් දුක්                  විඳිමින
අනුන් සෙව් දන මිල          දැන
හොරෙන් නො ගනුව         පැන
සිතත් කැබලිති ලෙසින් ඒ ගැන

කෙලවරක් නොමැති දුක් විඳිමින් අනුන් සොයා ගත් මිල මුදල් වටිනාකමින් තොර දේ ලෙස සලකා හොරෙන් නොගන්න.


අනුන් ගෙන් නැති           වුණ
දෙයක් ලැබුනොත් යම්     දින
එය සඟවා නො              ගෙන
දෙන්ට කරණා කරන් සතුටින

වෙනත් කෙනෙකුගේ නැතිවූ දෙයක් ලැබුණ හොත් එය සඟවා නොගෙන සැබෑ අයිති කරුවාට ලබා දීම උතුම් ය.
   

 කුණු සරුප  නො               කියනු
කේලම් වචන නො             කියනු
විහිලු බොරු නො               කියනු
ඇනුම් පද කිසිවෙකුට නො කියනු

කිසිම කෙනෙකුගේ සිත් රිදවන පරිදි, රැවටෙන පරිදි කිසිවිටෙකත් කේලම් බොරු විහිලු නොකරන්න.


බොරු කීම                   කැතමය
ගැරඩි කුණටත්          නො සමය
ඇත්ත නම්                      කදිමය
මෙලොව රජ සැපටත් උතුම්මය

බොරු කීම මියගිය ගැරඩියෙකුගේ මළකුණටත් වඩා කැත දෙයකි. ඇත්ත කීම රජ සැපටත් වඩා උතුම්ය.

Sunday, July 8, 2012

මද්දු ආත්තා





අද මම පුංචි දරු පැටවුන් වෙනුවෙන් ලියන්න හිතුවෙ, මම පුංචි කාලෙ මගේ ආත්තම්මා කෙනෙක් දීපු අවවාද කීපයක් ගැන.

ඒ ආත්තම්මගෙ නම දාඹුරේ ලියනගේ මැගිලින් . අපි එයාට කිව්වෙ 'මද්දු ආත්තා' කියලා. කසාද බැඳලා නැති නිසා හතර පෝයට සිල් අරගන්නත්, රට පුරාම තියෙන බන පිංකම්වලට සහභාගිවෙන්නත් මද්දු ආත්තට කාල වෙලාව තිබුනා. ඒ අතරතුර නොයෙකුත් කසාය වට්ටෝරු හොයාගෙන ඇවිත් අත්හදා බැලුවා. 


මද්දු ආත්තා අපේ ගෙදරත් නිතර ආවා ගියා. ඒ ආපු වෙලාවට එයා, ළමා වයසෙ හිටපු අපි කරන හැම දෙයක් දිහාම බොහොම විමසිල්ලෙන් බලාගෙන හිටියා. අපි කරන වැරදි බොහොම කරුණාවෙන් පෙන්වලා දීලා අවවාදත් දුන්නා. ඒ කාලෙ කිසිම චාරයක් නොතුබුනු අපේ ඇවතුම් පැවතුම් නිවැරදි කලේ මද්දු ආත්තා කියලා මට හිතෙනවා. ඒ දීපු අවවාද මම අදටත් පිළිපදින්න උත්සාහ කරනවා. මතක ඒවයින් කීපයක් මේ වගේ,

    -  කන්න බෙදා ගන්න ගියහම  තව කන්න කී දෙනෙක් ඉන්නවද කියලා හිතලා, ඒ අයටත් ඉතුරු කරලා බෙදාගන්න.
    -  පෙරේත කමට  කන්න බැරි තරම් බෙදාගෙන, කෑම ඉතුරු කරලා විසි කරන්න එපා.
    -  බත් කනකොට පිඟානෙ කොනින් කොනට, ටික ටික අනාගෙන කන්න. තැන් තැන්වලින් ගොඩවල් අනාගෙන කන්න එපා
    -  දකුණු අතේ පළවෙනි ඇඟිලි පුරුකට ඉහලින් ඉඳුල් ගෑවෙන්න බත් අනන්න එපා.
    -  බත් කටට දාගන්නකොට දිව අදින්න එපා
    -  බත් කන කොට තලු ගහන්න, සද්ද කරන්න එපා
    -  කටේ කෑම පුරවගෙන කතා කරන්න එපා
    -  පිඟාන හෝදනකොට දෙපැත්තම හෝදන්න.
    -  පිඟාන හෝදලා ඉඳුල් වතුර විසි කරනකොට ඒ ඉඳුල් ටිකත් සතෙකුට ආහාරයක් වේවා කියලා හිතන්න
    -  ඇවිදිනකොට අත පය විසි කරන්න එපා.
    -  අතු ගාන කොට කුණු ඉතුරු කරන්න එපා.
    -  පිට ගෙදරකට ගිහිල්ලා වාඩිවෙනකොට ගේ ඇතුළ පේන්න ඉඳ ගන්න එපා

මද්දු ආත්තා ගාල්ලෙ, මැද කීඹිය ගමේ දැනට අවුරුදු සීයකටත් වඩා ඉස්සර ඉපදිලා, ඉතාම ග්‍රාමීය පරිසරයක හැදුනු වැඩුනු කෙනෙක්. ඒ වගේම එතුමිය කිසිකෙනෙකුට කරදරයක් නොවෙන විදිහට, ආගම දහම විසින් හික්මවුනු ජීවිතයක් ගත කළා. ඒ විතරක් නෙමෙයි, ඒ හික්මීම ඊලඟ පරම්පරාවලටත් දෙන්න උත්සාහ කළා. අපේ හුඟක් වැඩිහිටියො එහෙමයි. පුංචි දරුවො වරදක් කරනකොට අවවාද කරලා නිවැරදි කරගන්න උත්සාහ කරනවා. ඒ අවවාද ගෞරවයෙන් පිළිඅරගෙන පිළිපදින වාසනාවන්ත දරුවෝ තමන්ගෙ වැරදි නිවැරදි කරගෙන කවදා හරි ශ්‍රේෂ්ඨයින් බවට පත් වෙනවා.

ඉතින් මට හිතුනා පහුගිය දවසක කුන්ඩසාලෙ හෝටල් පාසලේදි ඉගෙනගන්න ලැබුනු කෑම මේසයෙදි අනුගමනය කරන්න ඕන ආචාර ධර්ම ගැනත් ටිකක් ලිව්වොත් පුංචි දරුවන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා.

අපි ගෙදරදි නිතර හැඳි ගෑරුප්පු පාවිච්චි නොකළත් පිට තැනකදි සමහරවිට පිරිසක් එක්ක ආහාර ගන්නකොට එහෙම කරන්න වෙනවා. එහෙම වෙලාවක අනිත් අයට කරදරයක්, විහිලුවක්, පිළිකුලක්,  නොවෙන විදිහට හැසිරෙන එක වැදගත් නිසා මේ ටිකත් මතක තියා ගන්න එක හොඳයි.

    -  අත් පිස්නාව භාවිතය

        කෑම මේසයට වාඩි වෙලා ඉස්සෙල්ලාම කරන්න ඕනෑ මේසෙ උඩ නොයෙකුත් හැඩයට නවලා ලස්සනට තියලා තියෙන අත් පිස්නාව (නැප්කින් එක) සීරුවෙන් දිග ඇරලා ඔඩොක්කුවෙ එලා ගන්න එක. කෑම ගන්න අතරේ අවශ්‍ය වෙලාවට දෙතොල් පිසදා ගන්න ඒක පාවිච්චි කරන්න පුලුවන්. ඒත් අත පය, මූණ, හො‍ටු පිහිදාන්න පාවිච්චි කරන්න එපා.
       
        කෑම ගැනීම අවසානයෙදි අත් පිස්නාව සාමාන්‍ය විදිහට නවලා දකුණු පැත්තෙන් තියන්න. කෑම පිළිගැන්වීම වම් පසිනුත්, හිස් පිඟන් ඉවත් කිරීම දකුණු පසිනුත් සිදුවෙන නිසා, ඔබ ආහාර අරගෙන අවසන් බව එයින් හැඟවෙනවා.
  


    
-  ආහාර ගැනීම ආරම්භ කිරීම
        සාමාන්‍යයෙන් බටහිර කෑමක් වට කිහිපයකින් (කෝස්) සමන්විත වෙනවා. සෑම වටයකදීම සියල්ලන්ටම ආහාර පිළිගන්වනතෙක් බලා ඉඳලා, ආහාර ගැනීම එකවර ආරම්භ කලයුතුයි. කාගෙ හරි       ආරාධනයෙන් භෝජන සංග්‍රහයකට සහභාගි වෙනවා නම් ඔහු හෝ ඇය 
ආහාර ගැනීම පටන් ගන්නා තෙක් ඉවසගෙන ඉන්න එක සුදුසුයි.

    -  ආහාරගෙන අවසන් බව හැඟවීම

        පිළිගන්වන ආහාර සියල්ල කා දැමිය යුතුයයි නීතියක් නෑ. ප්‍රමාණවත් ආහාරයකට පස්සෙ හැඳි ගෑරුප්පු පිඟානෙ දකුනු පැත්තෙන් මිටවල් පිටතට තියෙන විදිහට තියන්න. (ඔරලෝසුවෙ 4. 20 වෙලාව දැක්වෙන විදිහට)  ඉඳුල් තැවරුනු හැඳි ගෑරුප්පු මේස රෙද්ද උඩ තියන්න එපා.

 

   
    -  හැඳි ගෑරුප්පු පාවිච්චිය
        මෙනුව අනුව පාවිච්චි කළ යුතු හැඳි ගෑරුප්පු අනු පිළිවෙලින් පිඟාන දෙපැත්තේ තියලා තියෙනවා. පිටතින්ම තියෙන හැන්දයි ගෑරුප්පුවයි අරගෙන වැඩේ පටන් ගන්න පුලුවන්. මාලු හා මස් ආහාරයට ගන්නා හැඳි ගෑරුප්පු, පිහියාවල හැඩයේ සහ ප්‍රමාණයේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.

වමතින් ගෑරුප්පුව අරගෙන, මස් මාලු වගේ ආහාර පිඟාන මත තද කරලා අල්ල ගෙන, දකුණතින් පිහිය අරගෙන කපාගන්න පුලුවන්. ඊට පස්සෙ පිහිය පැත්තකින් තියලා කපාගත්තු ආහාරය ගෑරුප්පුවෙන් අරගෙන කන්න ඕනෑ. ඇමෙරිකානු ක්‍රමයට ගෑරුප්පුව දකුණතට මාරු කර ගන්නත් පුලුවන්. කපා ගන්න අවශ්‍ය නැති බත් වගෙ ආහාර ගන්න හැන්ද පාවිච්චි කරන්න පුලුවන්. සුප්වලට වෙනමම බොකු‍ටු හැන්දක් තියෙනවා. සාමාන්‍ය හැන්දෙන් කනකොට හැන්දේ ඉදිරි තුඩ පැත්තෙනුත්, සුප් හැන්දේ පැත්තකිනුත් ආහාර ගන්න එක තමයි නිවැරදි.

අතුරුපස ගන්නා අඬු පඬු කට්ටලය පිඟානට ඉහලින් තියලා තියෙන්නේ. බටර් වගේ තැවරුමක් ඉස්සෙල්ලා තමන්ගෙ පිඟානට අරගෙන පස්සෙ පාංවල තවරාගන්න ඕනෑ.

හැඳි ගෑරුප්පු පාවිච්චිය ඉතාම සන්සුන්ව, නිහඬව කළයුතු බව කියන්න ඕන නෑනේ. ආහාර ගන්නා අතරතුර වැලමිට මේසය උඩ නොතබන්නත් වම් අත පාවිච්චි නොකරන වෙලාවට උකුල මත තබා ගන්නත් මතක තියාගන්න ඕනෑ. 




    -  බීම වර්ග පානය

        ශීත කළ පාන වර්ග පිළිගැන්වෙන්නේ උස න‍ටුවක් තියෙන වීදුරුවක. ඒ වගේ බීම වීදුරුවේ න‍ටුවෙන් අල්ලගෙන පානය කරන්න පුලුවන්. අනෙක් බීම වර්ග සාමාන්‍ය බීම වීදුරුවක පිළිගැන්වෙනවා.

බටහිර පන්නයට ආහාර ගන්න එක දස වදයක්නේ කියලත් පුංචි දරු පැටවුන්ට හිතෙන්න පුලුවන්. ඒ උනත් පිරිසක් ඉදිරියේ අපිට ගෙදරදී වගේ නිදහසේ කන්න බොන්න බෑනේ.  ඒ නිසා මේ වගේ ආචාර ධර්ම ගැන හිතලා හැසිරෙන්න වෙනවා.

Wednesday, June 27, 2012

සිරිත් මල්දම




ඔන්න දුවේ පුතේ අද නැන්දා කියල දෙන්නෙ ලස්සන ආදර්ශවත් කවි ටිකක්.  මේ කවි "සිරිත් මල්දම" කියන පොතෙන්.  ලියල තියෙන්නෙ එල් එම් සිල්වා ගරු මුහන්දිරම් තුමා.

මහත් සෙත්                 වඩමින
සිරිත් මල්දම               බලමින
සිරිත් හොඳ              දැනගෙන
මහත් යසසිරි  ලබනු දෙලොවින

මහත්වූ සෙතක් සලසන සිරිත් මල්දම කියවා දෙලොවම සැප ලබාගන්න. 


හොඳ ලෙස            හැදීමට
හොඳසිත ඕනෑ        හැමවිට
නරක සිත්              ඇතිවිට
නරකමයි සිදුවන්නෙ අපහට

හොඳ දරුවෙකු ලෙස හැදීමට හොඳ සිතක් ඔයාලට තියෙන්න ඕනෙ. නරක සිත් ඇති අයට සිදුවෙන්නෙ නරකක්ම තමයි.



නරක සිතින්                      නම්
හොඳක් නොකලැකි       කිසියම්
හොඳක් නොකලේ              නම්
උපන් ගතියෙන් නැත පලක් නම්

නරක සිතින් කිසිවිටෙකත් හොඳක් කල නොහැකියි. හොඳ දේ නොකරන්නේ නම් ඔබ මිනිසෙක් ලෙස ඉපදීමෙනුත් පලක් නැත.




පව්නම්                           නරකමය
එයින් දෙලොවෙහි              දුකමය
පින්නම්                          උතුම්මය
එයින් දෙලොවෙහි මහත්    සැපමය
  

පව් කිරීමෙන් මෙලොවට මෙන්ම පරලොවටද සෙතක් සිදු නොවේ. උතුම් වූ පින් කිරීමෙන් දෙලොවටම වැඩ සිදුවේ.




තමන් පණ ලෙස              හැම
සතුන් ගැන සලකා           පෙම
ඔවුන් දුටු                     විලසම
කරන් ආදර ගුණය නො   හැරම

අහිංසක සතුන්ගේ පණ තමන්ගේ පණමෙන් සලකා ඔවුන් දුටු තැන ඔවුන්ට කරුණාව දක්වන්න.

Friday, June 15, 2012

මිනිහගෙයි බල්ලගෙයි යාළුකම ඇතිවුනේ මෙහෙමයි


 


ඉස්සරම කාලේ බල්ලයි නරියයි ජීවත්වුනේ මහ කැලෑවෙ. මේ දෙන්නා එකම සහෝදරයො වගේ හරිම සමඟියෙන් එකතුවෙලා දඩයමේ ගිහින් එක කෑමවේල බෙදාගෙන කාල එකට එක ගෙදර රෑ නිදියගෙන සතුටින් හිටියා. ඔන්න ඔහොම ඉන්න අතරේ එක දවසක් කෑමට කිසිම දෙයක් දෙන්නාටම ලැබුනේ නෑ. රෑ වෙන්න ලොකු වැස්සකුත් ආවා. දැන් නම් බල්ලට හරිම බඩගිනියි. 

"අනේ, මටනම් හරිම බඩගිනියි, සීතලත් ඉවසන්න බැහැ" කියල බල්ලා කෙදිරි ගෑවා. " 

"ඔන්න ඔහෙ නිදියා ගනිමු. උදේට බැරියෑ මොනවත් හොයා ගන්න." කියල නරියා කිව්වා. ඒත් බල්ලට නින්ද ගියේම නෑ. 

බල්ලගෙ ඇඟේ නරියගෙ තරම් ලෝම තිබුනෙ නැති නිසා එයාට සීතල තදින්ම දැනුනා. එයා එළියට ඇවිත් බලන කොට ඈතින් පුංචි එළියක් පෙනුනා." අර එළිය නම් ගිනිගොඩක වෙන්න ඕනේ. ඒක මිනිස්සු ඉන්න ගමක් වගේ. අපිටත් හීතල ඇර ගන්න ගින්දර ටිකක් අරං එන්න නරිහාමිට පුලුවන් නේ, උඹ හරිම හපනනේ" කියල බල්ලා නරියාට කිව්වා. "මට නම් එහේ යන්න බැහැ, උඹට ඕනේම නම් උඹටම යන්න බැරියෑ. කියල නරිය නිදා ගත්තා. ‘එතන රස්නෙත් ඇති, අහක දාන කෑමත් ඇති’ කියල හිතන කොට බල්ලට තවත් බඩගිනි වැඩි උනා." මට නම් මේ හීතලයි, බඩගින්නයි ඉවසන්නම බැහැ. මම එහෙම නම් ගිහින් ඔයාටත් එක්ක කෑම ටිකක් අරන් එන්නම්. හැබැයි මට එන්න පාර එහෙම වැරදුනොත් ඔයා එන්න ඕනෙ" කියල බල්ලා එළියට බැස්සා. 

ඉතින් බල්ලා හිමිහිට බඩගාගෙන වගේ යනකොට කුකුළෙක් ඇඬලුවා. ඒ සද්දෙට ගෙයින් එළියට ආව ගෙහිමියා "ආ ... බලුනයිදේ.........හොරකම් කරන්න නේද මේ මහ රෑ මෙහෙට ආවෙ" කියල බල්ලාව අල්ලා ගත්තා. 

"අනේ මාව මරන්න එපා! මම කාටවත් වැරැද්දක් කරන්නේ නෑ. අදට විතරක් මට සීතල ඇරගන්න ගිනිමැලේ ළග ඉන්න දෙන්න. මට අනුකම්පා කරල ඉඩදෙන්න. මම ඊට පස්සෙ කවදාවත් කරදර කරන්නෙ නෑ" කියල බල්ලා පිංසේන්ඩු උනා.

මිනිහාටත් බල්ලා කියාපු විදිහට දුක හිතුනා. "හොඳයි එහෙම නම් හෙට උදේම ගමේ කාටවත් කරදර නොකර යන්න ඕනේ" කියල මිනිහ අවසර දුන්නා. 
බල්ලාත් හොඳින් ඇඟ රත්කරගන්න ගමන් අහක දමාපු මස් කටුවකුත් හොයාගෙන ලෙවකකා හිටියා. රෑ මැදියමේ මිනිහට ඇහැරුනා, "තාම ගියේ නැත්ද? " කියල බල්ලගෙන් ඇහුවා.

''අනේ, මම තවත් ටිකක් ඉන්නම්" කියල බල්ලා කිව්වා. අන්තිමේ දෙන්නාටම හොඳටම නින්ද ගියා. 

උදේ ඇහැරුන මිනිහා බල්ලගෙන් ඇහුවා "ඈ …..බලුරාල මොකද ? තාම ගියේ නැත්තෙ" කියල. 

"අනේ , මට දැන්නම් හීතල නැහැ. ඒ උනාට ආයෙත් කැලේට ගියොත් මට බඩගින්නෙන් , හීතලෙන් මැරෙන්නයි වෙන්නෙ. මටත් මේ ගෙදරම ඉන්න දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්. මම ඔබට කුරුල්ලො දඩයම් කරන්න උදව් වෙන්නම්. වෙන සත්තු අල්ලා ගන්නත් උදව් කරන්නම්. එතකොට ලෙහෙසියෙන්ම ඔබට ඒව කරගන්න පුලුවන්නෙ. මම මගේ සහෝදර නරියා වගේ ඔබගෙ එළුවොයි කුකුළොයි හොරකම් කරන්නෙ නෑ කියල පොරොන්දු වෙන්නම්. මට ඕනෙ ලිප ළඟට වෙලා ඉන්නයි වීසි කරන මස් කටු කන්නයි විතරයි" කියල බල්ලා ආයෙත් පිංසේන්ඩු වුනා. 

බල්ලගෙ ඇස් දෙක දිහා බලපු මිනිහට තේරුනා බල්ලා කියන්නෙ ඇත්ත බව.

"හොඳයි එහෙනම් පොරොන්දු විදිහට ඉන්නවා නම් මම බලුරාළට ඉන්න ඉඩ දෙන්නම් කියල මිනිහා කිව්වා. 

ඉතින් ඔන්න ඔය විදිහට බල්ලගෙයි මිනිහගෙයි යාළුකම අද දක්වාම තියෙනවා.

Sunday, May 27, 2012

ඇන්ටි රේබීස්

පුංචි දරු පැටව් වෙනුවෙන් මම 'පුංචිත්තා' ට  එක් කරන පළමු කතාව පූස් කතාවක්. කලින් ලියාපු කතා ගොන්නකින් මේ කතාව ‍තෝරා ගත්තේ පුංචි දරුවන්ට පූස් පැටියෙක් හරි, බලු පැටියෙක් හරි දැක්ක ගමන් උන්ව වඩාගෙන සුරතල් කරන්න තියෙන ආසාව මම දන්න නිසා. එහෙම කරන එකේ ලොකු අවදානමකුත් තියෙන නිසා, ඒ ගැන ලියන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.


පහුගිය දවස්වල අපේ මල්ලි කෙනෙකුට, දියවැඩියාව උග්‍ර වෙලා සුමාන දෙකක් ඉස්පිරිතාලෙ ඉන්න සිද්ද උනා. අසනීපෙට නිසි ප්‍රතිකාර ගත්තෙ නැති නිසා තමයි එයාට එහෙම උනේ. මමත් ඉතින් යුතුකමක් හැටියට එයාව බලන්න ඉස්පිරිතාලෙ ගියා. ඉස්පිරිතාලෙ වාට්‍ටුව ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ තියෙන්නෙ වොලිබෝල් කෝට් එකක්. ඒක අයිනෙ බයිසිකලේ නවත්වලා වාට්‍ටුවට යන්න හදනකොට තමයි අපි (මායි මල්ලිගෙ පුතයි) දැක්කෙ වොලිබෝල් කෝට් එක අයිනෙ මනුස්සයෙක් පිහිය කෑල්ලකුත් අරගෙන මොකද්ද ලොකු වැඩකට ලෑස්ති වෙනවා. අපිත් ඉතිං කිට්‍ටුවෙලා ඒ මොකද්ද කියලා බැලුවා.


ලංවෙලා බැලුවහම තමයි අපට පෙනුනේ එයා උත්සාහ කරලා තියෙන්නෙ වොලිබෝල් කෝට් එක වටේ තියෙන දැලේ පැටලිලා ඉන්න ලොකු පූසෙක් බේරලා යවන්න කියලා. පූසගෙ අඬු හතර ඒ වෙනකොට හොල්ලන්න බැරි වෙන්න පැටලිලා ඌ මර බයේ බෙරිහන් දෙනවා. අපි දෙන්නටත් ඉතින් සත්ව කරුණාව පහල වෙලා අර මනුස්සයාට උදව් කරලා නෙට් එක කපලා පූසා එලියට ගත්තා.


නෙට් එකෙන් එලියට ගත්තත් පූසා තවමත් කැපුනු නෙට් කෑල්ලේ පටලැවිලා, හොඳටම බයවෙලා හිටියේ. අත පය හොල්ලන්න බැරි උනත් කිට්‍ටු වෙනකොට කන්න පනිනවා යකෙක් වගේ.


මගේ අත්දැකීම තමයි එහෙම වෙලාවට කරන්න ඕනෑ සතාගෙ ඇස් දෙක වහන එක. අවට පේන කොට තමයි වල් සත්තු එහෙම වෙලාවට කලබල වෙන්නේ. හොඳම දේ තමයි රෙද්දක් දාලා ඔලුව වහන එක. එතකොට උන් නිශ්චල වෙනවා.


කොහොම උනත් ඒ වෙලාවෙ අපිට රෙදිකෑල්ලක් හොයා ගන්න බැරි උනා. ලඟ තිබුනු පොලිතීන් බෑග් එකකින් මූණ වහලා දැල් කෑල්ල කපන්න උත්සාහ කරද්දි පූසා එකපාරටම පැනලා මගෙ ඇඟිල්ලක එල්ලුනා. ඉඳික‍ටු වගේ උගෙ දත්වලට තුවාලවෙලා ඇඟිල්ලෙන් ලේ විදින්න පටන් ගත්තා.


කොහොම හරි පස්සෙ වාට්‍ටුවෙ හිටපු මනුස්සයෙක් දීපු තුවායක් පූසගෙ ඔලුවට දාලා දැල් කෑල්ල කපලා නිදහස් කරලා ඇරියා.


ඉතින් මම මේ ටික ලිව්වෙ අපි වැඩිය සැලකිල්ලක් නොදක්වන  වැදගත් කාරණාවකට එන්න පූර්විකාවක් හැටියට. මේ වගෙ ක්ෂීරපායී සතෙක් කෑවහම තියෙන ලොකුම අවදානම තමයි ජලභීතිකා රෝගය හැදෙන්න තියෙන හැකියාව. 'පිස්සු බලු රෝගය' කියලා සාමාන්‍යයෙන් හඳුන්වන නිසා වැඩිදෙනෙක් හිතනවා මේක බල්ලන්ගෙන් විතරයි බෝවෙන්නෙ කියලා. ඒත් කිරි බීලා හැදෙන ඕනෑම සතෙකුගෙන් මේ රෝගය අපිට බෝ වෙන්න පුලුවන්.


ජලභීතිකාව කෙනෙකුට හැදෙන්න පුලුවන් භයානකම රෝගයක් බව ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වෛරසය ආසාදනය වෙලා රෝග ලක්ෂණ මතුවෙන්න දින 10 සිට අවුරුදු 7 ක් දක්වා කාලයක් ගතවෙන්න පුලුවන්ලු. මොළය ඉදිමිලා රෝගියාගෙ මධ්‍ය ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වෙලා තමයි මරණයට පත්වෙන්නෙ. ලංකාවෙ අවුරුද්දකට සියයකට ආසන්න පිරිසක් මේ රෝගයෙන් මැරෙන බව වාර්තා වෙලා තියෙනවා. කොළඹ නාලන්දාවෙ අවුරුදු හතක විතර පුංචි දරු පැටියෙක් මේ ලඟදි ජලභීතිකාව වැලඳිලා මෙලොව හැර ගිය බව පත්තරේ තිබුනා ඔයාලට මතක ඇති.


සතෙක් කෑවට පස්සෙ රෝගය වලක්වගන්න තියෙන එකම ක්‍රමය තමයි ජලභීතිකා රෝගයට ප්‍රති එන්නත (Anti-Rabies Vaccine) ගන්න එක. සාමාන්‍යයෙන් පිටගැස්ම වලක්වන එන්නතත් (Anti-Tetanus) ඒ වෙලාවට දෙනවා.


මම ඉතින් පූසා කාපු එකට බෙහෙතක් විදගන්න දොම්පෙ ඉස්පිරිතාලෙට ගියහම එතන හිටපු නර්ස් නෝනා කිව්වා 'ඔයාට ඇන්ටි රේබීස් එක ගන්න ගම්පහට යන්න වෙනවා ...' කියලා. මිල අධික නිසා සාමාන්‍යයෙන් ඒ එන්නත තියෙන්නෙ  මහ රෝහල්වල විතරයි. ගම්පහ යන්න කරදර නිසා පෞද්ගලික තැනකින් පිටගැස්ම එන්නත විදගෙන ආපහු මම වැඩ කරන ගිරිතලේට ඇවිත් දවසකට පස්සේ පොලොන්නරුව රෝහලට ගියා බෙහෙත විදගන්න.


ඕපීඩී එක හරහා විස්සෙ වා‍ටුවට ගියහම  දොස්තර නෝනා පූසා කාපු ඇඟිල්ල බලලා මගෙන් ඉස්සෙල්ලාම ඇහුවෙ කවද්ද කෑවෙ කියලා. කාපු දවස කිව්වහම 'සතෙක් කෑවහම පැය 72 ක් ඇතුලත බෙහෙත විදින්න ඕන බව දන්නෙ නැද්ද?' කියලා දොස්තර නෝනා අහක බලාගෙනම ඇහුවා. මම ඇත්තටම ඒක දැනගෙන  හිටියෙ නෑ. ජලභීතිකා වයිරසය ක්‍රියාකාරී වෙන්න කලින් එන්නත ගන්න එක වැදගත්.


දොස්තර නෝනා ලියා දීපු තුන්ඩුව අරගෙන ඊලඟට වාට්‍ටුවෙ නර්ස් නෝනා ප්‍රශ්ණ අහන්න පටන් ගත්තා. ' සරමක් ගෙනාවද ..?' මම මෝඩ හිනාවක් දාලා ' නෑ .. ' කිව්වා.


'කකුල්වලටත් විදින්න තියෙනවා, කාට හරි කියලා සරමක් ගෙන්න ගන්න .. ' උන්දෑ කියාපි.


'මම එලියට ගිහිල්ලා සරමක් ගේන්නම් ..' කියලා මම යන්න හදනකොට ඊලඟට කියනවා 'ඔයාව දැන් වාට්‍ටුවට ඇතුල් කරගෙන තියෙන්නෙ .. එලියට යන්න දෙන්න බෑ .. හෑන්ඩ් ෆෝන් එකෙන් කතා කරලා කියන්න .. ' කියලා.


මම ජීවිතේට හෑන්ඩ් ෆෝන් එකක් ලඟ තියාගෙන පාවිච්චි කරලා නැති බව එයා දන්නෙ නෑනෙ. ඉතින් දෙවෙනි මෝඩ හිනාවත් දාලා මම කිව්වා 'හෑන්ඩ්  ෆෝන් එකක් නෑනෙ .. ' කියලා. එතන හිටපු නර්ස් නෝනලා තුන් හතර දෙනාම හිඟන්නෙක් දිහා බලන විදිහට මගෙ දිහා බලාගෙන ඉන්නකොට එක නෝනෙක් මට එයාගෙ ෆෝන් එක දික්කළා. මමත් ඉතින් කෘතඥතා පූර්වක හිනාවක් දාලා ඒක අරගෙන කෝල් එකක් දාලා යාලුවෙකුට කියලා සරමක් ගෙන්න ගත්තා.


ඊලඟට මගෙ බර කිරලා, යාලුවා ගෙනාපු සරම ඇඳ ගත්තට පස්සෙ පළවෙනි බෙහෙත විදින්න යැව්වා. මට තේරුන විදිහට ඒක ඇන්ටි රේබීස්වලට මම අසාත්මිකද කියලා බලන්න විදින එකක්.  'බෙහෙත විදලා හුස්ම ගන්න අමාරුවක්, කැසිල්ලක් දැනුනොත් කියන්න ඕනෑ .. එහෙම උනොත් අපි ඔයාව අයිසීයූ එකට දාලා විදින්නේ ..' නර්ස් නෝනා අනතුරු ඇ‍ඟෙව්වා.


පළවෙනි එන්නත අවුලක් උනේ නැති නිසා ලොකු එන්නත විදින්න ඊලඟට තව දොස්තර නෝනා කෙනෙක් ලඟට යැව්වා. 'බර කිලෝ 98 ක් නේද ..' මගෙ ඇඟේ බරට එන්නතේ ඩෝස් එක හදන ගමන් නෝනා අහනවා.


'ඔව් ටිකක් බර වැඩියි ..'


'මොකක් ..?'


'බර හුඟක් වැඩියි තමයි ..'


'හ්ම්ම් .. මට ඇහුනෙ ටිකක් වැඩියි කියනවා වගේ ..' නෝනා මගෙ මූණවත් බැලුව නෑ.


ඉස්සෙල්ලාම විද්දෙ පූසා කාපු ඇඟිල්ලට.


ඇටෙන්ඩන්ට් කෙනෙක්ගෙ උදව්වෙන් දොස්තර නෝනා සිරින්ජයේ තිබුනු ඉතුරු බෙහෙත් ටික කකුල් දෙකට විද්දා. බෙහෙත් විදින කොට ටිකක් රිදුනට ජලභීතිකාව හදාගෙන මැරෙන්නෙ මොකටද කියලා හිතලා මම ඉවසගෙන හිටියා. 


ඊට පස්සෙ ඕපීඩී එකට යවලා තවත් එන්නතක් අත්දෙකටම ගස්සලා, පැය තුනක් විතර තියාගෙන ඉඳලා,  'අද නාන්න එපා .. කඩ කෑම කන්න එපා .. අරක්කු සිගරට් බොන්න එපා ...' වගේ අවවාද ‍රැසක් කරලා තමයි මාව වාට්‍ටුවෙන් එලියට දැම්මේ.


ඉතින් මම මේ සේරම ලිව්වේ අපි වැඩිය ගණං නොගන්න පුංචි සත්තු  උනත් සපාකෑම ලොකු තර්ජනයක් වෙන්න පුලුවන් බව මේක කියවන දරු පැටවුන්ට මතක් කරන්න. ගෙවල්වල හදන බල්ලො, බළල්ලු අනිවාර්යයෙන්ම එන්නත් කරවා ගන්න ඕනෑ. නොදන්න සතෙක් කෑවොත් කොච්චර කරදරයක් උනත් අපි නියමිත කාලය ඇතුලත ජල භීතිකා ප්‍රති එන්නත ගන්න ඕනෑ. රෝහලෙන් දීපු කාඩ් එකේ හැටියට පලමු එන්නතෙන් පස්සෙ දින 3 කින්, 7 කින්, 30 කින් තව එන්නත් 3 ක් ගන්න ඕනෑ. 


ජල භීතිකාව ආසාදනයවුනු සතෙක් අනිවාර්යයෙන්ම දින 10 ක් ඇතුලත මැරෙනවලු. එහෙම සතෙක්ගෙ ඔලුව බො‍රැල්ලෙ වෛද්‍ය පර්යේෂණායතනය -  MRI (Medical Research Institute) එකට ගෙනිහිල්ලා රෝගය ආසාදනය වෙලා ද කියලා තහවුරු කරගන්න පුලුවන්.


මට දීපු කාඩ් එකේ තියෙන අවවාද ටිකත් ලියලාම ඉවර කරන්නම්. මේක කියවන හැම දරුවෙක්ම මේ ටික හොඳින් තේරුම් අරගෙන, සුරතල් සතුන් හදා ගන්නකොට ප්‍රවේශම් වෙන්න ඕනෑ.


    -  නොදන්නා සුනඛයෙකු අතපත ගෑමෙන් වලකින්න
     -  බලු පැටවුන් වඩා ගැනීමේදී බල්ලාගේ මුඛය මුහුණට ළං නොකරන්න
    -  විශ්වාස තැනක විධිමත් ලෙස ඇති කරන බැල්ලියකගේ පැටව් පමණක් ඇති කිරීම සඳහා ගන්න
    -  නොදන්නා පැටවකු ඇති කිරීමේදී එන්නත් ලබා දී මාසයක් වෙන් කර තබන්න
    -  සපා කන බල්ලන් ඇති කරන නිවෙස්වල 'බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න' දැන්වීම ප්‍රදර්ශණය කරන්න
    -  සපා කන බල්ලන්ට කට කලියාවක් දමන්න
    -  සති පහකට වැඩි බල්ලන්ට වාර්ෂිකව එන්නත ලබා දෙන්න
    -  බල්ලන් ‍රැලේ යන මද කාලයට සතුන් වෙන් කර තබන්න
    -  අනවශ්‍ය පැටවුන් බෝ වීම වලක්වා ගැනීමට පශු වෛද්‍ය උපදෙස් ගන්න
    -  සැක සහිත බල්ලෙකු හෝ වෙනත් සතෙකු සපා කෑ විට
        -  තුවාලය සබන් ගා ගලා යන ජලයෙන් විනාඩි 10 ක් සෝදා හරින්න
        -  සපා කෑ සතාගේ හිස වහාම බො‍රැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට ගෙන ගොස් වාර්තාවක් ලබා ගන්න.


බෙහෙත් ගන්න එන මම වගේ නාකි ලෙඩ්ඩු හුරතල් නොකළට, පොලොන්නරුවෙ රෝහලේ වෛද්‍ය, හෙද හෙදි නැන්දලා, මාමලා ඉතාම කාරුණිකව ලෙඩ්ඩුන්ට සලකන බවත් ලියලා තියන්නම ඕනෑ.

Tuesday, April 17, 2012

අවුරුදු ආවා



දොරකඩ මී අඹ        ගහේ
ටිං ටිං නාදය           ඇහේ
අඹ පැණි බිමටම    වැහේ
ගෙනදෙයි දිවගට    රහේ

කොවුලගෙ  ගී    නාදෙන
රස පිරි මිහිරක්        දෙන
හදවත් හැම          පුබුදන
අවුරුදු සිරි බල        මැන

එරබුදු මල්                රතු පාටයි
හැමතැන මිහිරක්       ඇතිවෙයි
පරිසරයත් පින්               පාටයි
අවුරුදු සිරියෙන්        ඇළලෙයි

ගේ දොර සුණු    පිරියමින්
අළුත් බවක් ගෙන   දෙමින්
නව පිළියෙන්    සැරසෙමින්
අවුරුදු කුමරුනි      වඩින්

කැවුම් කොකිස් මුං          අළුවා
අතිරස කැවිලිත්              හැදුවා
කෙසෙල් කැනත් ගෙහි     ඉදුවා
අවුරුද්දට               සැරසෙනවා

ඩොං පට ඩොං              රතිඤ්ඤා
නාදෙන් ගුම්                  දෙවන්නා
රබන් සුරල්                වැයෙන්නා
අවුරුදු සිරි                    කියන්නා

හෙළ සිරිතට අනුව          යමින්
ගෙවෙනා අවුරුද්ද          තුලින්
කුල දෙවියන්         නමදින්නට
පන්සල්                        යනවා

දෙමාපියන් මුල්                 කොට
සිරිත් විරිත්                කැටිකොට
වැඩකර සුබ                 නැකතට
සැරසෙමු                    අවුරුද්දට

කලට වෙලාවට              හරියට
ලිප ගිනි මොලවා         නැකතට
ගිතෙලින් හා හකුරු මිශ්‍ර
කිරිබත පිසුවා

මුළු ගමටම        සිරියාවයි
මගුල් ගෙයක සිරි උසුලයි
මව්පිය හා දූ දරුවන්
අහර බුදිනවා

කැවුම් කොකිස්   මුං අලුවා
අතිරස හා රස        බැලුවා
ගනුදෙනු අවසන් කරමින්
ගමටම අවුරුදු බෙදුවා

මව්පිය වැඩිහිටියන්   හට
බුලත් හුරුළු දී     කදිමට
තමන් කෙරූ පෙර වරදට
සමා යදිනවා

හැම දෙනාම රොක්වෙලා
දවසේ සෙල්ලම් කලා
සතුටින් පිරි අවුරුද්දේ
දිනක් ගත කලා


හිසතෙල් ගා නිමවීලා
රැකියාවට පිටත් වෙලා
නව අවුරුදු සිරිත් විරිත්
එයින් නිමකලා