හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Sunday, March 8, 2015

මොනවද අම්මේ ....................




ගායනය - කිංස්ලි ජයසේකර, ප්‍රිසිලා ඕපාත

ගී පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

මොනවද අම්මේ අකුරු ජාතියක්

මල් පෙති වල කවුදෝ ලියලා

කවුරුද අම්මේ මේවා ලියන්නේ

පාට පාට ඉරි හැඩ ගහලා


පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට

වනන්තරේ හරි වැඩ කෙරෙතී

බෝසත්වරු බණ කතා කියද්දී

වන දෙවඟනො මල් වල ලියතී


මේ වගෙ ලස්සන පාට අපට නෑ

කොතැනින් මේවා ගෙන එන්නේ

කොහොමද අම්මේ මේව කියන්නේ

මට නෑ මොකවත් තේරෙන්නේ


ඉර පායන කොට ඉර බැස යන කොට

පාට වළාකුළු ඇත අහසේ

ඒවායින් මේ මල් පැහැ ගන්වයි

ඒව කෙරෙන්නේ හොර රහසේ


අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ

කිචි බිචි ගා මොනවද කියතී

උන් දන්නව ඇති මේ මල් වල ඇති

පුංචි අකුරු නිතරම බලතී


ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්

කුරුළු ගීත වල රස මතුවේ

එක එක තාලෙට කියන කියන දේ

මල් කොළ වල තව තව ලියැවේ


බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්

පුංචි කුරුල්ලන් ඉගිලෙනවා

සෑමදාම ඇයි මෙහෙම ම නැත්තේ

මල් ද කුරුල්ලන් කොහි යනවා


බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට

කවදත් ඔහොමයි පුතුනි මගේ

මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම

මල් කොළ වලටත් සතුට නැගේ


https://www.youtube.com/watch?

v=I76FWIMrctA

Friday, August 8, 2014

සිරිත් මල්දම 3




අතින් අත බැඳ                            පෙළ
නොයන් මං මාවත්                      වල
තැනින් තැන කඩ                         වල
නොයන් කරුණක් නැතිව කිසි    කල


අතිනත් බැඳ  පාරේ ගමන් කිරීමත් නිකරුනේ කඩපිල් වල ගැවසීමත් හොඳ නෑ. ඒ දේවල් කිරීමෙන් තමයි දරුවන් දුරාචාරයන්ට හුරු වෙන්නෙ.


තැනින් තැන ගෙන්                ගෙට

ගොසින් බලමින්                 වට පිට
අනුන් කන බොන                     විට
ලොබින් නොයිඳින්  නැතත්    කෑමට



තමන්ට කෑමට කිසිවක් නැතත් අනුන් කන බොන ස්ථානවල බලාගෙන ඉන්න හොඳ නෑ.




දනන් නිති                          ගැවසෙන 

තැනින් කුඩ ඉහලා                   ගෙන 
සැරෙන් බස්                          කියමින
ගමන් නොකරන්           උඩඟු විලසින 


සෙනඟ ඉන්න තැන් වලින් කුඩ ඉහලා ගෙන ඒ අයට අවහිර වෙන ලෙස මහ හඬින් කතා කරමින් ගමන් කරන්න නම් හොඳ නෑ.



පාරේ යන එන                      විට 

අයින් වීමෙන්                   දකුනට
දුව පැන දඟ                  නොකොට 
ගමන් කළ යුතුය හැම             විට

පාරේ යන එන විට ඒ මේ අත දුවමින් දඟලමින් නොයා දකුණු පැත්තෙන්ම යන්න ඕනෙ දුවල පුතාල.




යම්කිසි                                    ගෙදරකට 

ගිය කල ඕනෑ                              කමකට
ඔවුන් නොමදැක                             ගෙට
ඇතුල් නොම වන් නොහොබී         සිරිතට


අනුන්ගේ ගෙදරකට ගියාම ඒ අයගේ අවසරයක් නැතිව ඒ ගෙට ඇතුල් වෙන්න එපා. එහෙම කලාම ඒ අය සතුටු වෙන්නෙ නෑ. ඒක හොඳ සිරිතක් නෙමෙයි. 

Sunday, June 29, 2014

ගිරිදත්ත ජාතකය

හුඟක් කාලෙකින් තමයි ඔන්න දුවල පුතාල බලන්න එන්න ලැබුනෙ. එකට අමනාප නැහැනෙ.  අද නැන්ද කියන්නෙ ගිරිදත්ත ජාතකය. 


ඔන්න එක්තරා කාලෙක බරණැස් නුවර සාම කියල රජෙක් හිටියා. ඒ රජතුමාට පාංඩව කියල අශ්වයෙක් හිටියා. අස්සයාව බලාගන්න අස්ගොව්වාගෙ නම තමයි ගිරිදත්ත. අශ්වයාට කටකලියාව එහෙම පළඳවලා සෑදලය එහෙම දාල මේ අස්ගොව්වා අශ්වයාගෙ ඉස්සරහහින් යනවා. ගිරිදත්තගෙ  එක කකුලක්  ටිකක් කොටයි. එයා ඉතින් ඇවිදින්නෙ කොරගගහ. දන්නවනෙ කකුල කොට උනාම ටිකක් නොන්ඩි ගහල තමා ඇවිදින්නෙ. අනේ ඉතින් මේ අශ්වයා හිතුවා මේ අස්ගොව්වා කොර ගහමින් යන්නෙ මට මේ වාගෙ ඇවිදින්න උගන්වන්න කියල එයත් ඒ විදිහට අනුකරණය කරමින් ඇවිදින්න ගත්තා. 

දුවල පුතලත් එහෙම අනුකරණය කරනවනෙ නේද, සමහර වෙලාවට අම්මගෙ අඩි උස සපත්තු එහෙම දාල යන්නෙ, අන්න ඒවාගෙ  මේ අශ්වයාත් එහෙම ඇවිද්දෙ.  

ඉතින් මේ අශ්වයා කොරගහන බව රජතුමාටත් දැන ගන්න ලැබුනා. රජතුමා මහ ඇමති කැදවලා මේ ගැන කියලා මොන ලෙඩක් නිසා මෙසේ කොර ගහනවාද? කියලා සොයා බලන්න නියම කලා. ඉතින් මහ ඇමතිතුමා වෙදදුරාත් සමඟ මේ ගැන විමසා බලන්න කියලා අශ්වගාලට ගියා. මේ අශ්වයාට කිසිම ලෙඩක් නැතිබව වෙදදුරා කීවා.

තව දුරටත් විමසා බලනවිට සියල්ලන්ටම හේතුව තේරුම් ගියා. ඒකට හේතුව තමා අස්ගොව්වා කොර ගහන නිසා අශ්වයාටත් ඒක පුරුදු වූ බව.  මහ ඇමතිත් වෙදදුරුත් රජතුමාට මේ බව දන්වා සිටියා. රජතුමා අස්ගොව්වා ඉවත්කර වෙන අස්ගොව්වෙක් අශ්වයා බලාගන්න යෙදෙව්වා. ටික දවසක් යන කොට අශ්වයා කොරගැසීම නවතා හොඳින් ඇවිදින්න පටන් ගත්තා.


ඔන්න බලන්න දුවේ, පුතේ යම් කෙනෙක් නරක අය ආශ්‍රය කරන කොට ඒ අයට පුරුදු වෙන්නෙ නරක ගතිගුණයි. හොඳ අය ආශ්‍රය කරන කොට ඒ අයට පුරුදු වෙන්නෙ හොඳ ගතිගුණයි. අපිත් දියුණු වෙනකොට නරක ගති තියෙන අය අත්හරල හොඳ ගති තියෙන උත්සාහ වන්ත අය ඇසුරු කරන්න හිතට ගන්න ඕනෙ. 

Thursday, June 27, 2013

පුංචිත්තා: සරභමිග ජාතකය

පුංචිත්තා: සරභමිග ජාතකය: ඉස්සර කාලෙ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා දඩයමට බොහොම කැමතියි. දවසක් පිරිවර සමඟ රජතුමා දඩයමේ ගියා. රජ්ජුරුවෝ මුව...

Sunday, June 23, 2013

සරභමිග ජාතකය


ඉස්සර කාලෙ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා දඩයමට බොහොම කැමතියි. දවසක් පිරිවර සමඟ රජතුමා දඩයමේ ගියා. රජ්ජුරුවෝ මුවෙකුට විද්දා. ඒ වෙලාවේ මුවා පැනලා ගියා. රජතුමාගේ පිරිවර සේනාව රජතුමාට ඔච්චම් කළා. රජතුමාට ලැජ්ජා හිතුනා. ආයෙත් මුවා අල්ලා ගන්න මුවා පසුපසම එළවාගෙන ගියා. රජතුමා පිරිසෙන් මගහැරුනා. මේ දුවන අතරේ රජතුමාව මහා වලකට ඇද වැටුනා. ටික දුරක් ගිහින් මුවා හැරිලා බැලුවා. රජතුමා පේන්න නෑ. ආපසු හැරිලා තමන්ගේ කට්ටිය ඉන්නා පැත්තට එන්න හිතා ගත්තා. මේ එන අතරේ කෙඳිරිලි හඬක් ඇසුනා. රජතුමා වලේ වැටී සිටිනා බව දැක්කා.

  මුවා එතනට පැමිණ මෙහෙම හිතුවා. "මා මරන්න එළවාගෙන ආවත් රජතුමා දැන් අනතුරක වැටිලා ඉන්නෙ. ඒ නිසා මම මඟහැර යන එක සුදුසු නෑ. මම රජතුමාට උදව් විය යුතුයි" . 

"රජතුමනි, බිය වෙන්න එපා. මම ඔබතුමාව බේරා ගන්නම්. මා වලට පැන්න පසුව, ඔබ , මගේ පිට උඩට නඟින්න" කියලා මුවා වලට පැන්නා. 

රජුට පිට දුන් පසු රජතුමා එහි නැඟලා වලෙන් ගොඩට ආවා.

උඩට ආව මුවා වෙහෙස වෙලා හිටිය රජතුමාව පිට උඩ තියාගෙන පිරිස ළඟට ගෙනැවිත් බැස්සුවා. රජතුමා පිරිසත් සමඟ  රාජ මාළිගයට ගියා. එදා පටන් රජතුමා ඒ රටේ මුව දඩයම තහනම් කළා. අනෙක් සතුන්ටත් අභයදානය ලැබුනා. 

රජතුමා නිර්මාංශ වෙලා යහපත් ලෙස රාජ්‍ය පාලනය කළා.  දවසක් රජතුමා ලඟටම ආව මුවෙකුට රජතුමා විද්දේ නෑ. ඒ ගැන පුරෝහිත බමුණා ඇසුවා. ඒ වෙලාවේ තමා වතුර වලෙන් ගොඩ ගත් මුවා ගැන රජතුමා කීවා. මට ඒ උපකාර කල මුවා නිසා මුවන්ට විදින්න හොඳ නැති බව පැවසුවා. රජතුමා අන් අයටත් කළගුණ සැලකීමේ අගය ගැන කියා දුන්නා. රජතුමාගේ හොඳ ගතිගුණ නිසා ඒ රටේ වැසියන් හොඳ ගතිගුණ පුරුදු උනා. රට සමුර්ධිමත් වුණා. 


ඔන්න , දුවේ පුතේ අද පොසොන් පෝය දිනයේ නැන්දා පුතාලට කියා දුන්නෙ, අපිට කෙනෙක් කරදරයක් කලත්, අපි ඒ අයව විපතට දමන්න හොඳ නෑ. කවුරු හරි අපට උපකාරයක් කලාම අපි ඒක අමතක කරන්න හොඳ නෑ. ඒ අය කරදරයක වැටුනාම අපිත් ඒ අයට,  උපකාර කරන්නට ඕනෑ. එතකොට අපි හැමදෙනාම ගුණවත් කම් පුරුදු කරනවා. නරක අයත් හොඳ අතට හැරෙනවා. බලන්නකො මුවා නිසා මුළු රටම හොඳ උනා නෙ.

Friday, June 7, 2013

සත්තිගුම්බ ජාතකය.




ඉන්දියාවේ උත්තර පංචාල නුවර මහ ඉඹුල් කැලයක් තිබුණා. ඒ කැලෑවේ ගිරා පවුලක් වාසය කලා. ඒ ගිරා පවුලේ පුංචි ගිරා පැටවුන් දෙන්නෙක් හිටියා.  දවසක් මහ සුළඟක් ඇවිත් මේ ගිරා කූඩුව ගහ ගෙන ගියා. මේ පැටවුන් දෙන්නාත් හුළඟට අසු වුණා.  එයින් එක් පැටවෙක් හොරුන් වසනා ගම්මානයකට වැටුනා. හොරු ඌව අල්ලා ගෙන හදා වඩා ගත්තා. අනෙක් ගිරා පැටියා තාපස වරුන්ගේ  අසපුවකට වැටුනා. තාපස වරු ඌව ආදරෙන් හදා වඩා ගත්තා. හොරුන් ලඟ වැඩුන ගිරවා නරක වචන කතා කලා. හොර මැරකම් පුරුදු වුනා. තාපසවරුන් ලඟ හැදුන වැඩුන ගිරවා ප්‍රිය වචන කතා කලා. කීකරුව හැදුනා. හොඳ පුරුදු පුහුණු වුණා. 

දවසක් දුවේ, පුතේ, ඒ රටේ රජතුමා දඩයමේ ගියා. රජතුමාට පාර වැරදුනා. හොරු කණ්ඩායම හිටිය කැලයේ ගසක් මුල වෙහෙසට පත් රජතුමා ඉඳගත්තා. හොරුන් ලඟ හැදුන ගිරවා "  මූව අල්ලාපිය, මූට කොටාපිය ,  මූව මරාපිය "  කියල නපුරු කැත වචන වලින් කෑ ගැහුවා. රජතුමා හොඳටම බය වෙලා එතැනින් ගියා. දන්නෙම නැතිව ඊට පස්සෙ තාපසයින්ගේ ආරාමයට ආව. එතන හිටිය හොඳ ගිරවා " එන්න, අසුන්ගන්න, මේ පළතුරු කන්න,ඔබට හුඟක් වෙහෙසද? තාපසවරු කැලයට ගියා. ඉක්මනින්ම ඒවි " කියල බොහොම ආදරෙන් කතා කළා. රජතුමා පුදුම උනා. කලින් ගිරවා කිව්ව දේවල් මේ වෙලාවෙ රජතුමා කිව්වා. එවිට මේ ගුණවත් ගිරාපැටියා ඒ තමාගේ සොහොයුරා බව රජතුමාට කිව්වා. එයා හොරුන් අතට පත් වෙලා නපුරු කම්, නරක වචන  ඉගෙන ගත් බවත් තමන් තාපසයින් ගෙන් යහපත දේ, ප්‍රිය වචන හා හොඳ ගුණධර්ම ඉගෙන ගත් බවත් රජතුමාට කීවා. 

රජතුමා තාපසවරු එනතෙක් වෙහෙස නිවා ගෙන ගිරවා එක්ක සතුටින් කාලය ගත කෙරුවා. තාපසවරු පැමිණියාට පස්සෙ රජතුමා මේ කතාවේ ඇත්ත විස්තරය පැහදිළිවම දැන ගත්තා. 


මේ කතාවෙන් කියවෙන්නෙ අපි කවදාවත්ම නරක අය ආශ්‍රය කරන්න හොඳ නෑ. අපි නරක අය ආශ්‍රය කලාම අපිත් නරක අය වෙනවා. මොකද ඒ නරක ගති ඉබේටම අපිටත් පුරුදු වෙනවා. අපි නිතරම හොඳ යහළුවන් ආශ්‍රය කරන්න ඕනෙ. ගුණවත් අයම ඇසුරු කරන්න ඕනෙ. හොඳ ගතිගුණ පුරුදු වෙන්නෙ එතකොටයි. ඒ නිසා අපි නිතරම හොඳ අයවම ඇසුරු කරන්න ඕනෙ. 

පුතාල , දුවල හැමටම තෙරුවන් සරණයි!. 

Saturday, September 29, 2012

නන්දි විසාල ජාතකය




 දුවේ පුතේ අද බිනර පොහොය දවසයි. ඔන්න නැන්දා අද ඔයාලට කියන්නෙ ජාතක කථාවක්.



ඉස්සර කාලෙ භාරතයේ,  බමුණෙක්  ඈත ගමක වාසය කළා. මේ බමුණාට නන්දිවිසාල නම් ගවයෙක් සිටියා. නන්දිවිසාල ගවයා ලොකු මහත් වෙත් දී බමුණා ටිකින් ටික වයසට ගියා. බමුණාට මුදල් අතින් කරදර වුණා. තමා ව ඇති දැඩි කළ හාම්පුතාට තමා සැලකිය යුතු යයි නන්දි විසාල කල්පනා කළා. එහෙම හිතමින් නන්දි විසාල බමුණා ළඟට ගියා.
“ඔබ මුදල් කරදරයෙන් ඉන්නා බව මට තේරෙනවා. මම ඔබට පොහොසත් වෙන්න මගක් කියලා දෙන්නම්.”
“ඒ කොහොමදැයි බමුණා ඇසුවා”

“එකට බඳින ලද ගැල් සීයක් එකවර තනිවම අදින්න මගේ ගවයාට පුළුවන් බව පවසා ඔබ කහවනු දහසක් ඔට්ටුවක් අල්ලන්න” නන්දිවිසාල කිව්වා.
බමුණාත් ඒ විදියටම කළා. ධනවත් සිටුවරු සමඟින් ඔට්ටු ඇල්ලුවා. තරගය නියමිත දිනයේදී බමුණා නන්දිවිසාලගේ පිටට නැග්ගා. නන්දිවිසාල බැඳ සිටියේ මුල්ම කරත්තෙයි. බමුණා නන්දිවිසාලට මෙසේ කිව්වා.
“ඇදපන් කුළු හරකෝ ඇදපන්” බමුණා නන්දි විසාලට කෑ ගහලා කිව්වා. 
නන්දවිසාල සිටි තැනින් සෙලවුණේවත් නැහැ. බමුණා නන්දි විසාලට කෙවිටෙන් තඩි බෑවා. 
නරක වචනයෙනුත් බැන්නා. ඉතින් නන්දි විසාල අඩියක් වත් ඉදිරියට ගියේ නැහැ. අන්තිමේදී බමුණා කහවුණු දහසේ ඔට්ටුව පරාජය වුණා. බමුණාට හරිම දුකයි.
“ඇයි මෙහෙම දුකින් නිදාගෙන ඉන්නේ” නන්දිවිසාල ඇසුවා. 

“මම නිදා ගන්නවා නොවෙයි. කහවුණු දහස  පැරදුණ දුකිනුයි ඉන්නේ” 
බමුණාගේ කතාව අසා සිටි නන්දිවිසාලට ලොකු අනුකම්පාවක් ඇති වුණා.
“ඔබට පාඩු වුණේ ඔබ නිසාමයි. මම කිසිදාක ඔබට වරදක් කරළා නැහැ. මම තරගයට ඉදිරිපත් වුණෙත් ඔබට මුදල් හම්බ කරලා දෙන්නයි. ඒත් ඔබ මට කතා කළේ ඉතාම පහත් විදියටයි. මට බැන්නා වගේම මට පහර දුන්නා. ඒ නිසයි මම කරත්තය අඩියක්වත් ඉස්සරහට ඇද්දේ නැත්තේ” නන්දි විසාල කිව්වා. 

වැරැද්ද තමා අත බව බමුණාට තේරුණා. නැවතත් නිකරුණේ හිරිහැර නොකරන බවට බමුණා පොරොන්දු වුණා.
“එහෙම නම් නැවතත් ගිහින් මගේ ගවයාට ගැල් සීයක් එකවර අදින්නට පුළුවන් කියලා 
“කහවුණු දෙදහසක් ඔට්ටු අල්ලන්න” නන්දි විසාල කිව්වා. 
බමුණා ඒ විදියටම කළා. එදා උදේ බමුණා නන්දි විසාල ව නාවලා හොඳට කවලා මල් මාලා වලින් සැරසුවා. සරසවාගෙන තරග බිමට රැගෙන ගියා. තරගය ඇරඹුනා.
“නන්දි විසාල මගේ හොඳ රත්තරන් පුතා! මේ ගැල් සීයම එකවර අදින්න. ඔයා හොඳ දක්ෂයා” බමුණා කිව්වා. 

නන්දි විසාලට ආඩම්බර හිතුණා. බමුණාගේ කරුණාවන්ත කට හඬට නන්දිවිසාල ගැල් සීයම එකවර ඇදගෙන ඉදිරියට ගියා. බලා සිටි මිනිසුන් අත් පුඩි ගැසුවා. නන්දි විසාලට ප‍්‍රීති ඝෝෂා කළා. බමුණා රන් කහවුණු දෙදහසේ ඔට්ටුව දිණුවා. දෙදෙනාටම හරි සතුටු හිතුනා.


**දැක්ක නේද? අපි නරක වචන කතා කරන කොට කවුරුවත් අපිට කැමති වෙන්නෙ නෑ.  තිරිසන් සතෙක් වත් අපි බැනල සැරෙන් කතා කරනවාට ආස නෑ. ඒ නිසා  අපි හැම වෙලාවෙම ප්‍රිය වචනම කතා කරන්න පුරුදු වෙමු.

(නන්දි විසාල ජාතකය ඇසුරිනි)